ශ්‍රී ලංකාවේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දකුණු ආසියාව, අග්නිදිග ආසියාව හා ඉන්දියන් සාගරය ඇතුළු ඉන්දියානු උප මහාද්වීපය හා ඒ අවට ප්‍රදේශවල ඉතිහාසය සමඟ බැඳී පවතී.

ලක්දිවෙන් හමු වී ඇති පැරණිතම මානව අවශේෂ වසර 125,000 ක් තරම් ඈත අතීතයකට දිව යයි (බලංගොඩ මානවයා).යාල ජාතික වනෝද්‍යානයේ බ්ලොක් 2 කොටසෙහි තවත් ටික දුරකට වන්නට ගොඩ බසින ලද අප්‍රිකානු චිම්පන්සියන්ගෙන් පරිනාමය වු හෝමෝසේපියන් වරුන්ගේ සාක්ෂිය.

ශ්‍රී ලංකාව ජනාවාස වීම සම්බන්ධ තොරතුරු ඇතුළත් පැරණිතම ලියකියවිලි ලෙස මහාවංශය, දීපවංශය සහ චූලවංශය වැනි පාලි වංශකතා දැක්විය හැකිය. උතුරු ඉන්දියාවේ සිට සිංහල ජනතාවගේ පැමිණීමේ පටන් ඉතිහාසය එම වංශකතා මඟින් විස්තර කෙරේ. ක්‍රි.පූ. 6 වන සියවසේ දී තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම සිංහල රාජාවලියේ ආරම්භය යි. ක්‍රි. පූ. 4 වන සියවසේ දී රජකම් කළ පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජධානියේ පළමු ශ්‍රී ලාංකීය පාලකයා ලෙස සැලකේ. මහින්දාගමනය මඟින් බුදු දහම රටට හඳුන්වා දීම සිදු වී ඇත්තේ ක්‍රි. පූ. 3 වන සියවසේ දී ය.

පසුව එළැඹුණු සියවස් වල දී සිදු වූ චෝල ආක්‍රමණ හමු වේ දිවයින වරින් වර කුඩා රාජධානි වලට බෙදී වෙන් වී යාම් සහ නැවත එක්සේසත් වීම් ද සිදු විය. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ශ්‍රී ලංකාව රජවරුන් හා රැජිණියන් 181 දෙනෙකු විසින් පාලනය කර තිබේ. එමෙන්ම 16 වන සියවසේ පටන් රටේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යන අධිරාජ්‍යයන් යටතේ පැවතුණි. 1597 සිට 1658 දක්වා කාලය තුළ දිවයිනේ සැලකිය යුතු කොටසක් පෘතුගීසින් යටතේ පාලනය විය. අසූ අවුරුදු යුද්ධයේදී ලන්දේසීන්ගේ මැදිහත් වීම හේතුවෙන් පෘතුගීසීන්ට සිය බල ප්‍රදේශ අහිමි විය. උඩරට සටන් වලින් අනතුරුව 1815 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ දිවයින නැවත එක්සේසත් විය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 මාතලේ කැරැල්ල ලෙස බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සන්නද්ධ නැගී සිටීම් දෙකක් ද සිදු විය. අවසානයේ 1948 වසරේ දී බ්‍රිතාන්‍යන් විසින් නිදහස ලබා දෙන ලද නමුත් 1972 වන තෙක් රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ඩොමීනියන් තත්ත්වයේ පැවතුණි.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. අනතුරුව 1978 දී රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබූ අතර එමඟින් විධායක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා බවට විය. 1971 හා 1987 කැරැලි වලට අමතර ව 1983 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වූ අතර වසර 25 ක් පුරා පැවති එය 2009 වසරේ දී අවසන් විය.

Srilanka Map.
ශ්‍රී ලංකා සිතියම

ප්‍රාග් ඓතිහාසික යුගය

බලංගොඩ මානවයා මීට වසර 125,000 කට පමණ පෙර දිවයිනට පැමිණ ඇති බවට විශ්වාස කෙරේ. මෙසොලිතික් යුගයේ දී ගල් ගුහාවල විසූ දඩයක්කාර හා ඵලවැල රැස්කරන්නන් ලෙස ඔවුන්ව හඳුනාගෙන ඇත. එවැනි ලෙන් අතුරින් සුප්‍රසිද්ධ බටදොඹ ලෙන හා පාහියන්ගල ලෙන වැනි ස්ථාන වලින් දිවයිනේ මුල් පදිංචිකරුවන් ගේ යැයි සැලකෙන කෞතුක භාණ්ඩ හමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය 
පාහියංගල වන සෙනසුන (සිතුවම්)

බලංගොඩ මානවයා විසින් ඇතැම් විට දඩයම් අල්ලා ගැනීම සඳහා ගස් පුළුස්සා දැමීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ හෝර්ටන් තැන්න නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, ක්‍රිස්තු පූර්ව 15,000 ට ආසන්න කාලයේ යැයි සැලකිය හැකි ඕට්ස් සහ බාර්ලි වගාවන්ට අදාළ සාක්ෂි එම ප්‍රදේශයෙන් සොයා ගැනීමෙන් ඇඟවෙන්නේ එම මුල් කාලය වන විටත් කෘෂිකර්මාන්තය දියුණු වී තිබූ බවකි.

4 cm ක් පමණ දිගින් යුත් කුඩා පාෂාණ මෙවලම්, මැටි බඳුන්, දැව අවශේෂ සහ මැටි සොහොන් බඳුන් කිහිපයක් මෙසොලිතික් යුගයේ ඒවා බවට කාල නිර්ණය කර තිබේ. එමෙන්ම වාරණ රජමහා විහාරය ආශ්‍රිත ගුහාවක සහ කලටුවාව ප්‍රදේශයේ මෑතක දී සිදු කරන ලද කැණීම් මඟින් ක්‍රිස්තු පූර්ව 6000 පමණ යැයි සැලකෙන මානව අවශේෂ ද සොයා ගනු ලැබ ඇත.

ක්‍රිස්තු පූර්ව 1500 තරම් පැරණි, ශ්‍රී ලංකාවට ආවේණික කුරුඳු පුරාණ ඊජිප්තුවෙන් හමු වී ඇති අතර එමඟින් ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ඈත අතීතයේ පටන් පැවති වෙළඳාම පිළිබඳව අදහසක් ලබා ගත හැකිය.

ප්‍රාග් ඓතිහාසික යුගයේ දී (ක්‍රි.පූ. 1000-500) ශ්‍රී ලංකාව සංස්කෘතික අතින් දකුණු ඉන්දියාව සමඟ සමානකම් පෙන්වා තිබේ. මහා ශිලා සුසාන භූමි, පිඟන් මැටි, යකඩ තාක්‍ෂණය, ගොවිතැන් ක්‍රම සහ ශිලා ලිපි ඉන් සමහරකි. ප්‍රාකෘත බස කතා කරන්නන්  සංක්‍රමණය වීමට පෙර වේලිර් වැනි ද්‍රවිඩ ජන වර්ග මඟින් මෙම සංස්කෘතික සමානකම ව්‍යාප්ත වන්නට ඇතැයි සැලකේ.

ශ්‍රී ලංකාවේ යකඩ යුගයේ ආරම්භය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ක්‍රිස්තු පූර්ව 900 ට පෙර ජනාවාස වී තිබූ හා අතීතයේ විශාල නගරයක් වූ අනුරාධපුරයෙන් හමු වී තිබේ. ක්‍රිස්තු පූර්ව 900 දී එම ජනාවාසය හෙක්ටයාර 15 ක් පමණ වූ නමුත් ක්‍රිස්තු පූර්ව 700 වන විට එය හෙක්ටයාර 50 දක්වා ව්‍යාප්ත වී ඇත. ඊට සමාන හා එම කාලවකවානුවටම අයත් තවත් ස්ථානයක් සීගිරිය අලිගල අවට ප්‍රදේශයෙන් ද සොයාගෙන තිබේ.

වන්නිල ඇත්තෝ නොහොත් වැදි ජනතාව ලෙස හැඳින්වෙන දඩයක්කාර හා ඵලවැල රැස්කරන්නෝ දැනටත් දිවයිනේ මධ්‍යම, ඌව හා ඊසාන පෙදෙස්වල වාසය කරති. ඔවුන් බලන්ගොඩ මානවයාගෙන් ඍජුව පැවත එන්නන් විය හැකි බවට විශ්වාස කළ හැකිය. අතීත මානවයින් අප්‍රිකාවේ සිට ඉන්දීය උප මහද්වීපයට ව්‍යාප්ත වූ කාලයේ දී ඔවුන් ද දිවයිනට සංක්‍රමණය වී ඇතැයි සැලකේ.

පසුකාලීනව සිංහල ශිෂ්ටාචාරය වර්ධනය වූයේ ඉන්දු ආර්ය සංක්‍රමණිකයන්ගෙන් ය. සුවිසල් දාගැබ් නිර්මාණ ශිල්පය මෙන්ම පුරාතන ලෝකයේ බෙහෙවින් ම දියුණු වාරි තාක්ෂණය ද ඔවුන් ලැබූ ජයග්‍රහණ අතර වේ. ශ්‍රී ලංකාවට නිර්මල බෞද්ධ දර්ශනය හඳුන්වා දීම සිදු වූයේ ද ඒ අවධියේ දී ය.

බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ දිවයිනට තෙවරක් වැඩම කළ සේක. එහිදී උන් වහන්සේ එකල ශ්‍රී ලංකාවේ සිටි නාග රජවරුන් හට ධර්මය දේශනා කළ සේක. නාග ගෝත්‍රිකයන් යනු සිය අභිමතය පරිදි මිනිස් වෙස් ගත හැකි නාග විශේෂයක් බවට විශ්වාසයක් පවතී.

දැනටත් සුරැකිව පවතින පැරණිතම වංශකතා දෙකක් වන දීපවංශයට හා මහාවංශයට අනුව ඉන්දු ආර්යයන්ගේ සංක්‍රමණයට පෙර යක්ෂ, නාග, රාක්ෂ සහ දේව ගෝත්‍රිකයන් දිවයිනේ වාසය කර තිබේ.

පූර්ව අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 543–377)

ඉන්දු ආර්ය සංක්‍රමණය

මහාවංශය, දීපවංශය, ථූපවංශය හා චූලවංශය වැනි පාලි වංශකතා, බුරුම වංශකතා මෙන්ම ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සෙල්ලිපි වාර්තා ඇසුරෙන් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පටන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

ක්‍රි.ව. 400 දී පමණ මහානාම හිමියන් විසින් දීපවංශය, අට්ඨකථා සහ තවත් එවැනි ලිඛිත මූලාශ්‍ර උපයෝගී කරගනිමින් රචිත මහාවංශය, එම යුගයේ ඉන්දියානු ඉතිහාසය සමඟ හොඳින් සහසම්බන්ධ වේ. අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය පාලනය පිළිබඳව ද එහි වාර්තා පවතී. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218 කට පසු සිදු වූ අශෝක අධිරාජ්‍යයාගේ රාජාභිෂේකයට පෙර යුගය පිළිබඳව මහාවංශයේ සඳහන් වන විස්තර පුරාවෘත්තයක හැඩය ගනී. එම ඓතිහාසික වාර්තා ආරම්භ වන්නේ විජය කුමරු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙක් සමඟ වංග දේශයේ සිට පැමිණීමේ කතා වස්තුවෙන් වේ. එතැන් පටන් එම රාජවංශය පිළිබඳව විස්තරාත්මක සඳහනක් මහාවංශයේ ඇතුළත් වේ. විජය යනු ඉන්දියානු කුමාරයෙක් වන අතර සිංහබාහු රජුගේ සහ ඔහුගේ සහෝදරිය වන සිංහසීවලී රැජිනගේ වැඩිමහල් පුත්‍රයා ය. සිංහබාහු හා සිංහසිවලී යනු කල්පිත සිංහයකුට දාව මිනිස් කුමරියකට ඉපදුණු දරුවන් දෙදෙනෙක් යනුවෙන් මහාවංශයේ සඳහන් වේ. එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ විජය කුමරු දිවයිනට පැමිණ ඇත්තේ බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනයේ දී ම බවයි.

මහාවංශයට අනුව විජය කුමරුගේ ගොඩ බැසීම සිදු ව ඇත්තේ මහාතිත්ත (මාතොට හෙවත් වර්තමානයේ මන්නාරම) ප්‍රදේශයට නුදුරිනි. එහිදී ඔවුන් විසින් දිවයිනට "තම්බපණ්ණි" යනුවෙන් නම් තබා ඇති අතර එහි අර්ථය තඹ පැහැති වැල්ල යන්නයි. එය ටොලමි ගේ පුරාණ ලෝක සිතියමෙන් ද තහවුරු වේ. බුදුරජාණන් වහන්සේ තෙවරක් දිවයිනට වැඩම කිරීම ද මහාවංශයේ විස්තර වේ. බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය මැණික් පුටුවක් සඳහා ගැටුමක් ඇති කරගෙන සිටි නාග රජෙකු සහ ඔහුගේ බෑණා සමගි කර රටේ සිදු වීමට ගිය විශාල ව්‍යසනයක් වළක්වාලනු පිණිස සිදු වී ඇත. තෙවන වර වැඩම කළ අවස්ථාවේ දී උන් වහන්සේගේ සිරි පතුල සමනල කඳු මුදුනේ පිහිටු වූ අතර එතැන් පටන් එය ශ්‍රී පාදස්ථානය යනුවෙන් හැඳින්වේ.

වත්මන් සිංහල ජනතාව ඉන්දු ආර්යයන්ගේ සහ ස්වදේශිකයන්ගේ එකතුවෙන් සෑදුණු ජන වර්ගයක් වේ. ඉන්දු-ආර්ය භාෂාව, සංස්කෘතිය, ථේරවාදී බුදුදහම, ප්‍රවේණි විද්‍යාව සහ භෞතික මානව විද්‍යාව මත පදනම්ව සිංහල ජනයා අසල්වැසි දකුණු ඉන්දියාවේ අනෙකුත් ජන වර්ග වලින් වෙනස් ජනවාර්ගික සමූහයක් ලෙස පිළිගැනේ.

අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 377-ක්‍රි.ව. 1017)

අනුරාධපුර රාජධානියේ මුල් අවධියේ දී ආර්ථිකය ගොවිතැන මත පදනම් වූ අතර මුල් ජනාවාස ප්‍රධාන වශයෙන් පැතිරී ගොස් තිබුණේ නැගෙනහිර, උතුරු මැද සහ ඊසානදිග ගංගා ආශ්‍රිත ප්‍රදේශ වල ය. ඊට හේතුව වසර පුරාම ගොවිතැනට අවශ්‍ය ජලය පහසුවෙන් ලබා ගත හැකි වීමයි. රටේ පාලකයා රජු වූ අතර නීතිය හා හමුදාව ඔහුගේ වගකීම් අතර විය. එමෙන්ම ජනතාවගේ විශ්වාසය රැකගැනීම සඳහා ද ඔහු කටයුතු කළ යුතු විය. දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250-210) සිංහල රජෙක් වූ අතර ඔහු ඉන්දියාවේ මෞර්ය වංශයේ අශෝක රජු සමඟ හිතවත් ව කටයුතු කර ඇත. ඔහුගේ එම සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.පූ. 247 දී පමණ මිහිඳු මහ රහතන් වහන්සේ (ගිහි දිවියේ දී අශෝක රජුගේ පුත්‍රයා) විසින් බුදු දහම රටට හඳුන්වා දීම සිදු විය. අනතුරුව සංඝමිත්තා රහත් තෙරණිය විසින් (ගිහි දිවියේ දී අශෝක රජුගේ දියණිය) ශ්‍රී මහා බෝධියේ දකුණු අංකුර ශාඛාව දඹකොළපටුන වරාය (කන්කසන්තුරෙයිට බටහිරින්) හරහා වැඩම කරවීය. එම කාලය ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තියට හා ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් කාලයක් විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය 
තුන් සිංහලේ (රුහුණු, පිහිටි, මායා)

එළාර රජු (ක්‍රි.පූ. 205-161) යනු දකුණු ඉන්දියාවේ සිට පැමිණ ලක්දිව පාලනය කරමින් සිටි අසේල රජුව ඝාතනය කර පිහිටි රට හෙවත් මහවැලි ගඟට උතුරින් ශ්‍රී ලංකාවේ බලය අල්ලාගෙන පාලනය කළ දමිළ ආක්‍රමණිකයෙකි. එම කාලයේ දී මායා රට හෙවත් ශ්‍රී ලංකාවේ නිරිතදිග පෙදෙස කැළණිතිස්ස රජු විසින් පාලනය කරන ලද අතර රුහුණ හෙවත් ශ්‍රී ලංකාවේ ගිණිකොණ දිග පෙදෙස පාලනය කරන ලද්දේ කාවන්තිස්ස රජු විසිනි. කාවන්තිස්ස රජුගේ වැඩිමල් පුත්‍රයා වූ දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 167-137) වයස අවුරුදු 25 දී පළමු උත්සාහයෙන් ම එළාර රජු ව පැරදවීමට සමත් වූ බව මහාවංශයේ විස්තර කෙරේ. එමෙන්ම ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් ලෙස සැලකෙන රුවන්වැලිසෑය ඉදිකිරීම සිදු වී ඇත්තේ ද දුටුගැමුණු රජුගේ මග පෙන්වීමෙනි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය 
රුවන්වැලිසෑය

ක්‍රි.පූ. 103 දී නැවත වතාවක් ද්‍රවිඩ ආක්‍රමණයක් සිදු වී ඇති අතර ඒ වන රජකම් කළ වළගම්බා රජු එම අවස්ථාවේ දී පසු බැස ගොස් වසර 14 කට පසුව සංවිධාන වී පැමිණ සිය රාජ්‍යත්වය නැවත අත්පත් කර ගෙන ඇත. එම වසර 14 තුළ පංච ද්‍රවිඩයන් නමින් හැඳින්වෙන පාලකයන් පස් දෙනෙකු එකිනෙකා මරා ගනිමින් රාජ්‍ය පාලනය සිදු කර තිබේ. මහාවිහාර (ථේරවාදී) හා අභයගිරි (මහායාන) පදනම් කරගනිමින් මූලධර්ම මත ගැටුම් ඇති වීම ද මේ අවධියේ දී සිදු වී තිබේ. වළගම්බා රජුගේ (ක්‍රි.පූ. 89-77) කාලයේ දී සිදු වූ වැදගත් ම සිදුවීමක් වන්නේ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කිරීම යි. වළගම්බා රජුගේ පුත්‍රයෙක් වූ චෝර නාග රජුගේ (ක්‍රි.පූ. 63-51) බිසව වූ අනුලා විසින් රජුට වස දී ඝාතනය කරනු ලැබ ඇත. චෝර නාගගේ හා කුඩා තිස්සගේ වැන්දඹුව වූ අනුලා රැජිණ (ක්‍රි.පූ. 48-44) ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස සැලකේ. ඇය විසින් සිය පෙම්වතුන් කිහිප දෙනෙකුටම එසේ වස දී ඝාතනය කරනු ලැබ ඇති අතර කූටකන්න තිස්ස රජු (ක්‍රි.පූ. 44-22) විසින් අවසානයේ දී ඇයව ඝාතනය කර රාජ්‍යත්වය ලබා ගෙන ඇත. ලම්බකර්ණ රාජ වංශයේ ආරම්භකයා වූ වසභ රජු (67-111) විශාල ප්‍රමාණයේ වැව් 11 ක් ඉදිකර ඇත. පළමු ගජබාහු රජු (114-136) චෝල රාජධානිය ආක්‍රමණය කර එහි වහලුන් ලෙස රඳවා සිටි ශ්‍රී ලංකාවේ වැසියන් පිරිසක් නැවත රැගෙන පැමිණ ඇති අතර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නැවත ලබා ගැනීමට ද කටයුතු කර ඇත.

මහසෙන් රජුගේ (274-301) පාලන සමයේ දී ථේරවාදී මහා විහාර පාර්ශවයට වඩා මහායාන පාර්ශවයේ බලවත් වීමක් සිදු වී ඇත. නමුත් පසු කාලීනව මහසෙන් රජු ද මහා විහාර පාර්ශවය උදෙසා රාජ්‍ය අනුග්‍රහය දක්වා ඇත. ක්‍රි.ව. 436 සිට 452 දක්වා කාලයේ දී නැවත වරක් ආක්‍රමණික ද්‍රවිඩ පාලකයන් 6 දෙනෙකු අතර රාජ්‍යත්වය හුවමාරු වී ඇති අතර එම පාලනයේ නිමාවත් සමඟ මෞර්ය රාජවංශයේ ආරම්භය සිදු වී තිබේ. එහි පළමු පාලකයා වූයේ ධාතුසේන රජු (455-477) ය. කලා වැව ඔහුගේ රාජ්‍ය පාලන කාලයේ දී නිම වූවක් වන අතර සීගිරිය යනු ඔහුගේ පුත්‍රයා වූ කාශ්‍යප රජුගේ (477-495) මාළිගාව පිහිටි පර්වතය වේ. පැරණි සිංහල භාෂාවෙන් රචිත ඓතිහාසික කුරුටු ගී 700 ක් පමණ වර්තමානයේ දී එහි දැකගත හැකිය.

    පරිහානිය

ක්‍රි.ව. 993 දී රාජ රාජ චෝල රජු විසින් දැවැන්ත චෝල හමුදාවක් එවනු ලැබ අනුරාධපුර රාජධානිය උතුරු දෙසින් යටත් කර ගනිමින් චෝල අධිරාජ්‍යයේ ආධිපත්‍යයට නතු කර ගෙන ඇත. අනතුරුව ඔහුගේ පුත්‍රයා වූ රාජේන්ද්‍ර චෝල රජුගේ අවධියේ දී සමස්ත දිවයිනම චෝල අධිරාජ්‍යය යටතේ එක් පළාතක් ලෙස සලකා පාලනය කර තිබේ.

පොළොන්නරු යුගය (1056–1232)

පොළොන්නරුව රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධානතම රාජධානිය යි. අනුරාධපුර රාජධානිය චෝල ආක්‍රමණයන්ට නතු වීමෙන් අනතුරුව සිංහල රජවරුන් රුහුණු රාජධානියේ රජකම් කළ අතර විජයබාහු රජු (1055-1110) විසින් වසර 17 ක උත්සාහයකින් අනතුරුව චෝලයන් රටින් පන්නා දමා නැවත වරක් දිවයින එක්සේසත් කර ඇත. අනතුරුව ඔහු විසින් සිය රාජධානිය ගොඩ නගා ඇත්තේ පොළොන්නරුව නගරය කේන්ද්‍ර කරගනිමින් ය.

විජයබාහු රජුගේ මුණුබුරෙකු වූ පළමු පරාක්‍රමබාහු රජු (1153-1186) ඉතා බලවත් රජෙකු වූ අතර අතීත ශ්‍රී ලංකාවේ දැවැන්ත වාරි නිර්මාණයක් වූ පරාක්‍රම සමුද්‍රය ඔහුගේ පාලන සමයේ දී නිම කරන ලද්දකි.

අනතුරුව එළඹි කාලයේ දී නව රාජ වංශයක් ආරම්භ කරමින් නිශ්ශංකමල්ල රජු (1187-1196) බලය ලබා ගත් අතර පරාක්‍රමබාහු රජුගේ බිසව වූ ලීලාවතී රැජින (1153-1186, 1197-1200, 1209-1210, 1211-1212) සිව් වරක් රාජ්‍යත්වයට පත් වීය.

පොළොන්නරුව රාජධානියේ බිඳ වැටීම සිදු වූයේ කාලිංග මාඝගේ (1215-1255) ආක්‍රමණය හේතුවෙනි. යාපනය රාජධානියේ ආරම්භකයා වන්නට ඇත්තේ ද මාඝ බව විශ්වාස කෙරේ.

සංක්‍රාන්ති යුගය (1232–1505)

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව සිංහල ජනතාව විශාල වශයෙන් දිවයිනේ දකුණු දෙසට සංක්‍රමණය වීමට පෙළඹී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ උතුරු ප්‍රදේශයේ යාපනය රාජධානිය සහ දකුණු ප්‍රදේශයේ කලින් කල බිහි වූ තවත් රාජධානි කිහිපයක් ලෙස පාලන කටයුතු සිදු විය.

යාපනය රාජධානිය (1215-1624)

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ යාපනය අර්ධද්වීපය වටා කේන්ද්‍ර වෙමින් බිහි වූ යාපනය රාජධානිය ආර්ය චක්‍රවර්තී රාජ වංශය ලෙස ද හැඳින්වේ. 1258 දී දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට කප්පම් ගෙවන යටත් විජිතයක් වශයෙන් යාපනය රාජධානිය පැවති ඇති අතර 1323 දී ඉන් නිදහස ලබා ස්වාධීන වී තිබේ. 14 වන සියවසේ මුල් භාගයේ දී උපරිම ලෙස බලවත් වීමට යාපනය අධිරාජ්‍යයට හැකි වූ අතර ඒ එකල පැවති සියළු ප්‍රාදේශීය පාලන ප්‍රදේශ යාපනය සිය ප්‍රධාන රාජධානිය ලෙස පිළිගැනීම හේතුවෙන් ය. කෙසේ වෙතත් 1450 දී කෝට්ටේ රාජධානියේ රජකළ හයවන පරාක්‍රමබාහු රජුගේ උපදෙස් පරිදි සපුමල් කුමරු විසින් යාපනය රාජධානිය යටත් කරගන්නා ලදී.

දඹදෙණිය රාජධානිය (1120-1345)

තුන්වන විජයබාහු රජු (1220-1224) විසින් පිහිටු වන ලදි. සංක්‍රාන්ති යුගයේ බිහි වූ විශිෂ්ඨ පාලකයෙක් ලෙස සැලකෙන ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු (1234-1269) විසින් කාලිංග මාඝ ව පරාජයට පත් කරන ලදී.

මෙම කාලයේ දී දඹදෙණියට අමතර ව යාපහුව, පොළොන්නරුව සහ කුරුණෑගල යන නගර ද අගනගර කරගනිමින් රජවරුන් සිය පාලන කටයුතු මෙහෙයවා තිබේ.

ගම්පොළ රාජධානිය (1341-1408)

ගම්පොළ රාජධානිය සිව්වන බුවනෙකබාහු රජු විසින් ආරම්භ කරනු ලැබ ඇති අතර ගඩලාදෙණිය හා ලංකාතිලක විහාර එම රාජධානි සමයට අයත් ඒවා වේ.

කෝට්ටේ රාජධානිය (1412-1597)

ගම්පොළ රාජධානියෙන් පසු ව බිහි වූ කෝට්ටේ රාජධානියේ රජකළ හයවන පරාක්‍රමබාහු රජු විසින් යාපනය රාජධානිය යටත් කරගැනීමෙන් අනතුරුව දිවයින නැවත වරක් එක්සේසත් විය. කෝට්ටේ රාජධානියේ පිරිහීම සිදු වූයේ ප්‍රධාන වශයෙන් පෘතුගීසි ආක්‍රමණ හේතුවෙන් වන අතර සමකාලීනව බිහි වූ සීතාවක සහ මහනුවර රාජධානි ද කෝට්ටේ රාජධානියට විරුද්ධ ව කටයුතු කළේ කෝට්ටේ රජවරුන් පෘතුගීසින්ට දැක් වූ පක්ෂපාතී බව හේතුවෙනි.

සීතාවක රාජධානිය (1521-1594)

1521 වසරේ දී සිදු වූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් ලෙස සීතාවක රාජධානිය බිහි විය. අනතුරුව එළඹි දශක හතක කාලය තුළ දිවයිනේ සැලකිය යුතු කොටසක් තම පාලනයට නතු කරගැනීමට සීතාවක රජවරුන්ට හැකියාව ලැබිණි. සීතාවක රාජධානිය පෘතුගීසින්ට එරෙහිව සාර්ථක සටන් කිහිපයකම නියැලී ඇති අතර මහනුවර රාජධානියේ නැගී සිටීමත් සමඟ පිරිහීමට ලක් විය.

දහසයවන සියවසේ අර්බුදය (1505–1594)

පෘතුගීසි මැදිහත් වීම

නූතන යුගයේ දී ශ්‍රී ලංකාවට පැමිණි පළමු යුරෝපා ජාතිය වන්නේ පෘතුගීසීන් ය. 1505 දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා ගේ පැමිණීම සිදු වී ඇති අතර ඒ වන විට රාජධානි කිහිපයකට බෙදී වෙන් වී තිබූ දිවයිනට එම ආක්‍රමණිකයන් පළවා හැරීමට තිබූ අවස්ථා සීමිත විය. ඔවුන් විසින් 1517 දී කොළඹ වරායට ආසන්නව බලකොටුවක් ඉදි කරනු ලැබූ අතර අනතුරුව කෙමෙන් කෙමෙන් වෙරළබඩ ප්‍රදේශ කරා බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. 1592 වසර වන විට සිංහලයන් සිය අගනුවර ලෙස රට මධ්‍යයේ වූ මහනුවර නගරයට රාජධානිය රැගෙන ගෙන ගිය අතර එය සතුරු ආක්‍රමණ වලට හොඳින් මුහුණ දිය හැකි ආරක්ෂිත ප්‍රදේශයක් විය. 16 වන සියවස පුරාවටම විවිධ සටන් දෙපාර්ශවය අතර පැවතී ඇත.

පෘතුගීසීන්ගේ ධර්මදූත ව්‍යාපාර හේතුවෙන් පහතරට සිංහලයන් බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට යොමු වූ අතර එමඟින් බෞද්ධ ජනයා තුළ පෘතුගීසින්ගේ වර්ධනයට හා එහි බලපෑම් වලට තිබූ අකමැත්ත වඩාත් තීව්‍ර විය. එහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසීන්ගෙන් රට බේරා ගැනීමට හැකි ඕනෑම පිරිසක් සමඟ හිතවත් වීමට ඔවුන් පසුබට නොවීමයි. 1602 දී ලන්දේසි කපිතාන් ජොරිස් වෑන් ස්පිල්බර්ජන් දිවයිනට පැමිණි අවස්ථාවේ දී උඩරට රජු ඔහුගෙන් උදව් ඉල්ලා සිටීම මගින් ඒ බව තහවුරු වේ.

ලන්දේසි මැදිහත් වීම

මහනුවර රජකම් කළ දෙවෙනි රාජසිංහ රජු (1635-1687) විසින් 1638 දී වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීන් රටින් පන්නා දැමීම සඳහා ලන්දේසීන් සමඟ ගිවිසුමකට එළඹී ඇත. එහි ප්‍රධානම කොන්දේසිය වී ඇත්තේ ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා වෙරළබඩ ප්‍රදේශ උඩරට රජුට භාර දී ඒ වෙනුවෙන් දිවයින පුරා ලන්දේසි වෙළඳ ඒකාධිකාරයක් සඳහා ඉඩකඩ ලබා දීමයි. නමුත් එම එකඟතාව දෙපාර්ශවය විසින්ම කඩ කිරීමට ලක් කර ඇත. ලන්දේසීන් විසින් 1656 දී කොළඹ හා 1658 දී යාපනය අත්පත් කරගනිමින් පෘතුගීසීන් සම්පූර්ණයෙන් ම රටින් පන්නා දැමුණු අතර 1660 වන විට ගොඩබිමට සීමා වූ මහනුවර රාජධානිය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සියල්ලම ලන්දේසීන් යටතට පත් වීම සිදු විය. රෙපරමාදු භක්තිකයන් වූ ඔවුන් විසින් කතෝලික භක්තිකයින් හට සහ පෘතුගීසි පදිංචිකරුවන් හට හිංසා කරනු ලැබ ඇත. එමෙන්ම පෘතුගීසීන්ට වඩා ඔවුහු ජනතාවගෙන් අධික බදු මුදලක් අය කළ බවද සඳහන් වේ.

මහනුවර යුගය (1594–1815)

පෘතුගීසී පාලන සමයේ දී කෝණප්පු බණ්ඩාර විසින් සූක්ෂ්මව මෙහෙයවූ සටන් වලින් අනතුරුව මහනුවර රාජධානිය ශක්තිමත් වූ අතර ඔහු පළමු විමලධර්මසූරිය (1591-1604) නමින් රජකමට පත් විය.

මහනුවර රාජධානිය ආරම්භ වූ කාලයේ සිට අවසන් කාලය දක්වා ම පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් වලට විරුද්ධ ව සටන් කර තිබේ. මෙහි අගනුවර වූ සෙංකඩගල නගරයේ සුවිශේෂී පිහිටීම හේතුවෙන් 19 වන සියවස තෙක්ම විදේශීය ආක්‍රමණ වලට හොඳින් මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නැගී තිබුණි.

මහනුවර රාජධානියේ අවසන් රජවරුන් දකුණු ඉන්දියානු සම්භවයක් සහිත නායක්කාර් වංශිකයන් වූ අතර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (1798-1815) කාලයේ දී ඇති වූ අභ්‍යන්තර ගැටළු හේතුවෙන් රාජධානිය පිරිහීමට ලක් විය. එයින් අනතුරුව 1815 දී උඩරට ගිවිසුම නමින් උඩරට රදලයින් හා ඉංග්‍රීසීන් අතර ඇති කරගත් එකඟතාවයට අනුව සමස්ත දිවයින ම විදේශීය පාලනයට නතු වීම සිදු විය. එය වසර 2300 ක් පැවති සිංහල රාජවංශයේ අවසානය යි.

යටත් විජිත ශ්‍රී ලංකාව (1815–1948)

බ්‍රිතාන්‍ය පාලනයට දිවයින නතු වීමෙන් වසර තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් ඒ කෙරෙහි කලකිරුණු උඩරට නායකයින් විසින් 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ කළහ. ආරම්භයේ දී සාර්ථක බවක් පෙන්නුම් කළ ද බ්‍රිතාන්‍ය යුධ බලය හමුවේ එය අසාර්ථක විය. ඉන් අනතුරුව නැවත වරක් 1848 දී මාතලේ කැරැල්ල සිදු වූ අතර එය ද අසාර්ථක වූ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය පාලනය දේශීය ජනයාගේ ඉල්ලීම් කිහිපයකට සාධනීය පිළිතුරු ලබා දීම සඳහා පෙළඹී තිබේ.

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී තේ, කෝපි හා රබර් වගාව, මහාමාර්ග හා දුම්රිය මාර්ග සංවර්ධනය සහ රෝහල් පිහිටුවීම වැනි රටට වැදගත් අංශ කිහිපයක් ම ආරම්භ කිරීම ද සිදු විය.

බෝග වගාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ධනවත් රටවල් වලින් එකක් විය. තේ වගා කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ සිට දෙමළ ජාතික ජනතාව විශාල වශයෙන් කම්කරුවන් ලෙස රැගෙන ආ අතර එය ඒ වන විට දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ වල සිටි දෙමළ ජනයාට සහ දෙමළ භාෂාව මව්බස ලෙස යොදා ගන්නා මුස්ලිම් ජනයාට එකතුවක් විය. එබැවින් සිංහල සහ දෙමළ භාෂා අතර සබැඳි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා වන්නට විය.

20 වන සියවසේ මුල් භාගයේ දී සිදු වූ විවිධ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස 1948.02.04 දින පටන් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමට ශ්‍රී ලංකාවට හැකි විය. එය මෙතෙක් පැවති සන්නද්ධ සටන් වලට වඩා වෙනස් දේශපාලනික වශයෙන් ලැබූ ජයග්‍රහණයකි.

දෙවන ලෝක යුද්ධයට ශ්‍රී ලංකාව ඍජුව ම සම්බන්ධ නොවුවත් බ්‍රිතාන්‍යයන් විසින් ජපානයට එරෙහි පළමු පෙළ යුධ කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය හෙයින් ජපානය විසින් කොළඹ නගරය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. තව ද ත්‍රීකුණාමල වරාය ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය යුධ කටයුතු සඳහා උපායමාර්ගික වශයෙන් වැදගත් කඳවුරක් ලෙස 1948 වන තෙක් ම භාවිතා විය.

ශ්‍රී ලංකාව (1948-වර්තමානය)

නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්වයේ පැවතුන අතර තවදුරටත් රාජ්‍ය නායකයා ලෙස බ්‍රිතාන්‍ය රජු හෝ රැජිණ ම පිළිගන්නා ලදී. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ එයින් බෙදී ගිය කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් දේශපාලන කණ්ඩායම් අතර ආණ්ඩු බලය විටින් විට හුවමාරු වීම සිදු විය. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මහතා වූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ 1972.05.22 වන දින සිට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වී නව ව්‍යවස්ථාවක් යටතේ රාජ්‍ය නායකයා ලෙස නාමිකව ජනාධිපතිවරයෙක් පත් කරගත්හ. ඒ වන තෙක් ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර තනතුර හෙබ වූ විලියම් ගොපල්ලව මහතා එතැන් පටන් ජනාධිපති ධූරය ට පත් විය. 1978.09.07 දින සිට ක්‍රියාත්මක වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය නායකයා ලෙස විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙනු ලැබිණි. ඒ වන විට අගමැති ධූරය හෙබ වූ ජේ.ආර්. ජයවර්ධන මහතා එතැන් පටන් විධායක ජනාධිපති ලෙස පත් විය. එතැන් පටන් 2020 වර්ෂය දක්වා එම ව්‍යවස්ථාවට වරින් වර සංශෝධන 20 ක් එක් කර තිබේ.

1971 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහි සන්නද්ධ අරගලයක නිරත විය. එය අසාර්ථක වූ අතර නැවත වරක් 1987 වසරේ දී කැරැල්ලක් ආරම්භ කළහ. වසර දෙකක් පමණ පැවති එය ද අසාර්ථක වූ අතර එම සමය අවසානයේ දී දෙපාර්ශවයේම මිනිස් ජීවිත දස දහස් ගණනින් අහිමි වී ඇත.

නිදහස් ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන සිදුවීම් සමුදාය වූයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය යි. දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල දෙමළ ඊළාම් නමින් වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් LTTE සංවිධානය ශ්‍රී ලංකා රජයට එරෙහිව සටන් වැදුණු අතර 2009.05.19 වන දින රජයේ හමුදා වලට ජය අත් කර දෙමින් යුද්ධය අවසන් විය. වසර 25 කට වැඩි කාලයක් පැවති මෙමඟින් ද අවම වශයෙන් මිනිස් ජීවිත ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇත.

වඩාත් මෑත කාලීනව සිදු වූ විශේෂ සිදුවීම් වනුයේ 2019.04.21 වන පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ 2020-21 වසර වල දී රටට සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් ගැටළුවක් බවට පත් වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය යි.

1978 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාවට අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව පාලනය වන්නේ ඒකීය අර්ධ-ජනාධිපතිමය ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් ලෙසින් වන අතර 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට ජනාධිපති ධූරයේ ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය ධූරයේ ඔහුගේ වැඩිමල් සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ලබයි


ලංකාව තුළ ඇති වූ දරැණු ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන,ආහාර වැනි අත්‍යාවශය භාණ්ඩවල මිල ඉහළ යාම හා හිග වීම හේතු කොට ගෙන ගාලුමුවදර පිටිය මුල් කොට ගෙන ඇරබි අරගලයේ බලපෑම නිසා එවකට අගමැති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය.ඒසමගම කැබිනට් මණ්ඩලයද අහෝසි විය. පසුව රටේ ඇති වූ ව්‍යාකූලත්වය සිදළීම සදහා 2022 මැයි12 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතා (සය වන වරටත්) අග්‍රාමාත්‍යය ධුරයට පත් විය.

2022/07/09 දින ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඇති වූ විරෝධතා හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය විරෝධතාකරුවන් යටතට පත්විය. මෙම තත්වය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගිය අතර 2022/07/13 දින රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති බවට පත් විය. 2022/07/14 දින ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වීමෙන් අනතුරුව 2022/07/20 දින පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වන විධායක ජනාධිපති ලෙස තේරී පත් විය. අනතුරුව ඔහු විසින් 2022/07/22 වන දින දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීය.

ආශ්‍රිත

මූලාශ්‍රය

Tags:

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයශ්‍රී ලංකාවේ ඉතිහාසය පූර්ව අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 543–377)ශ්‍රී ලංකාවේ ඉතිහාසය අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 377-ක්‍රි.ව. 1017)ශ්‍රී ලංකාවේ ඉතිහාසය පොළොන්නරු යුගය (1056–1232)ශ්‍රී ලංකාවේ ඉතිහාසය සංක්‍රාන්ති යුගය (1232–1505)ශ්‍රී ලංකාවේ ඉතිහාසය දහසයවන සියවසේ අර්බුදය (1505–1594)ශ්‍රී ලංකාවේ ඉතිහාසය මහනුවර යුගය (1594–1815)ශ්‍රී ලංකාවේ ඉතිහාසය යටත් විජිත ශ්‍රී ලංකාව (1815–1948)ශ්‍රී ලංකාවේ ඉතිහාසය ශ්‍රී ලංකාව (1948-වර්තමානය)ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආශ්‍රිතශ්‍රී ලංකාවේ ඉතිහාසය මූලාශ්‍රයශ්‍රී ලංකාවේ ඉතිහාසයඅග්නිදිග ආසියාවඉන්දියානු උප මහාද්වීපයඉන්දියානු සාගරයදකුණු ආසියාව

🔥 Trending searches on Wiki සිංහල:

සේනක බිබිලේප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවධවල පත්‍රිකාවගාලු කොටුවගුණ කිරීමේ වගුවඅටමස්ථානසත්තුයූටියුබ්දිලීරසිංහල ජනයාලංකා විශ්වවිද්‍යාලයඅනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ ජාතික කොඩියසිංහයාශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අකළුතර පාසල් නාමාවලියසිංහල වර්ණ මාලාවලක්දිව දේශීය ආහාරමය අල වර්ගශ්‍රී දළදා මාළිගාවගල් පොත සෙල් ලිපියශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියආවර්තිතා වගුවගෞතම බුද්ධ පරිනිර්වාණයයෝනි මාර්ගයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාපාචනයශ්‍රී ලංකාවේ ඉතිහාසයඅමරදේවශ්‍රී ලංකාවේ විදුලි බලයනෙප්චූන්බලශක්ති සංරක්‍ෂණයප‍්‍රාථමික අධ්‍යාපනයධර්ම සංගායනාකන්තලේ වැවසඳකඩපහ‍ණේ විකාසනයකශේරුවත්‍රිකුණාමලයමහනුවරවෙසක් උත්සවයඋපායශීලී සැලසුම්කරණයකළමනාකරණයඅයිසැක් නිව්ටන්සාර ධර්මහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාතාරුණ්‍යය හා විවේකයලෝක ආහාර අර්බුදයපන්සියපනස් ජාතක පොතශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කස්නායු පද්ධතියශ්‍රී ලංකා නාවික හමුදාවපටිච්චසමුප්පාදයඋඩරට නැටුම්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයහෙන්රි ජයසේනමාලදිවයිනරාවණා රජලංකා බැංකුවතාක්‍ෂණයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියදළදා වහන්සේසියඹලාශ්‍රී ලංකාවේ ජාතික සංකේතමුරගලසමාජයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකා රුපියලබුදු දහමවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියදකුණු ආසියාවආනන්ද සමරකෝන්මොණරා සහ සෙබඩසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයසිංහරාජ වනාන්තරයපාසල්🡆 More