සත්ව හිංසනය

සත්ව හිංසනය යනුවෙන් හදුන්වන්නේ මිනිසෙකු විසින් මිනිස් නොවන සත්වයෙකු කෙරෙහි වූ හිංසනය හා වේදනා නොසළකා හැරීමත්, එවැන්නකට අනුබල දීමත් ය. පුළුල් ව සිතා බැලීමේදී, කිසියම් අරමුණක් සහිතව සතුන්ට හිංසා කිරීම, උදාහරණ වශයෙන් විනෝදයට සතුන් මැරීම වැනි දේ දක්වාම සත්ව හිංසනය ව්‍යාප්ත වේ.

සත්ව හිංසනය
සිල්වර් ස්ප්‍රින්ග් හි සත්ව අත්හදා බැලීමේදී අත්හදා බැලූ මැකේක් වඳුරන් 17 දෙනාගෙන් එක් අයෙකු වන ඩොමිටියන්

ලොව පුරා අධිකරණවල, සත්ව හිංසනය පිළිබඳ නීතිවලට විවිධ වූ ප්‍රවේශයන් දක්නට ලැබේ. නිදසුනක් වශයෙන්, සමහර නීති මගින් ආහාර, ඇදුම් පැළදුම් හෝ වෙනත් නිෂ්පාදන සදහා සතුන් මැරීමේ ක්‍රම පාලනය කරනු ලබන අතර අනෙකුත් නීති මගින් විනෝදය අධ්‍යාපනය , පර්යේෂණ හෝ සුරතල් සතුන් ලෙස තබාගැනීම සම්බන්දයෙන් සැළකිලිමත් වේ. සත්ව හිංසනය පිළිබඳ සංකල්පීය ප්‍රවේශයන් ගණනාවක් තිබේ.

සත්ව සුභසාධන ස්ථාවරයක් දරන ඇතැමුන්ගෙ මතය වන්නෙ ආහාර, ඇදුම් පැළදුම්, විනෝදාස්වාදය සහ පර්යේෂණ වැනි මානව අරමුණු සදහා සතුන් භාවිතා කිරීමෙ වරදක් නොමැති නමුත් එය අනවශ්‍ය වේදනා හා දුක් අවම වන ආකාරයට එනම් "මානුෂීය" ලෙස කළ යුතු බවයි. තවත් සමහරු තර්ක කරන්නෙ "අනවශ්‍ය" යන්නෙහි අර්ථ දැක්වීම පුළුල් ලෙස වෙනස් වන බැවින් සතුන්ගෙ සියලු භාවිතයන් මෙයට පාහේ ඇතුළත් විය හැකි බවයි.

පිරිවැය සහ ප්‍රතිලාභ පිළිබඳ ස්ථාවරයෙන් උපයෝගිතාවාදී උපදේශකයින් තර්ක කරන අතර සතුන්ට ඉඩ දිය හැකි ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔවුන්ගේ නිගමන වෙනස් වේ. සමහර උපයෝගිතාවාදීන් සත්ව සුභසාධනය වැනි ප්‍රවේශයක් ගන්නා අතර තවත් සමහරු මෙයට සත්ව අයිතිවාසිකම් වැනි ප්‍රවේශයක් ගනී. සත්ව අයිතිවාසිකම් න්‍යායවාදීන් "අනවශ්‍ය" සහ "මානුෂීය" යන වචන පුළුල් ලෙස අර්ථ නිරූපණය කළ හැකි බව පවසමින් සතුන්ට මූලික අයිතිවාසිකම් ඇති බවට තර්ක කරති. ඔවුන්ගේ මතය වන්නෙ බොහෝ සත්ව භාවිතයන් අනවශ්‍යය බවත් එය සතුන්ට වේදනාවක් විදීමට හේතුවක් බවත්, එබැවින් සතුන්ට ආරක්ෂාව සහතික කිරීම සදහා එකම ක්‍රමය දේපළක් ලෙස ඔවුන් නොසලකා, එනම් ඔවුන් කිසිවිටෙකත් ද්‍රව්‍යක් ලෙස හෝ ජීවී ද්‍රව්‍යක් ලෙස භාවිතා නොකිරීමට වග බලා ගැනීමයි.

අර්ථ දැක්වීම සහ දෘෂ්ටි කෝණයන්

සත්ව හිංසනය 
මිනිසෙක් , දම්වැල් දැමූ පිට්බුල් ටෙරියර් වර්ගයේ බල්ලෙකුට, පටියකින් පහර දෙයි. පටිය ඉදිරිපසින් පෙනේ.

ඉතිහාසය පුරාවට මිනිස් නොවන සතුන්ට කුරිරු ලෙස සැළකීමට දෙවියන් වහන්සේ විසින් දී ඇති අයිතියක් ගැන මිනිසුන් විශ්වාස කළ බවට සාක්ෂි ඇත ; එනමුත් ඇතැම්හු මේ පිළිබඳව අවධානයෙන් සිටි බවටද කරුණු අනාවරණය වී ඇත. උදාහරණයක් වශයෙන් ලියනාඩෝ ඩාවින්චි වරක් කුරුලු කූඩු මිළට ගෙන ඒවායෙ සිටි කුරුල්ලන් නිදහස් කොට යැවූ බවත් මස් පිණිස සතුන් දැඩිකිරීම මිනිසුන් තම ආධිපත්‍යයක් ලෙස සැළකීම සම්බන්දයෙන් කෝපයෙන් සිටි බවටත් ඔහුගෙ දිනපොත් වාර්තා සාක්ෂි දරයි. සමකාලීන දාර්ශනිකයෙකු වන නයිජල් වෝර්බර්ටන්ට අනුව මානව ඉතිහාසයේ බොහෝ දෙනාගේ ප්‍රමුඛ මතය වී ඇත්තේ සතුන් යනු මිනිසාට සුදුසු යැයි සිතෙන පරිදි කැමැත්තක් කළ හැකි යටත් ජීවී කොට්ඨාසයක් බවයි.

රෙනේ ඩෙස්කාට්ස් විශ්වාස කළේ මිනිසුන් නොවන අය ආත්මය, මනස හෝ හේතුවක් නොමැති ස්වයංක්‍රීය යන්ත්‍ර බවයි. කාටිසියානු ද්විත්වවාදයේදී, විඥානය සියලු සතුන් අතරින් මිනිසාට අනන්‍ය වූ අතර දෙවියන්ගේ අනුග්‍රහයෙන් භෞතික ද්‍රව්‍ය සමග සම්බන්ධ විය.කෙසේනමුත් සමීප විශ්ලේෂණයන් පෙන්වා දෙන්නේ සංකිර්ණ සංකේත භාවිතය, මෙවලම් භාවිතය හා ස්වයං විඥානය වැනි මානව ලක්ෂණ සමහර සතුන් තුළ සොයාගත හැකි බවයි.

චාල්ස් ඩාවින්, පරිණාමවාදයේ න්‍යාය ඉදිරිපත් කිරීමෙන් මිනිසුන් වෙනත් විශේෂයන් සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය දෙස බලන ආකාරයට විප්ලවීය වෙනසක් සිදු කළේය. ඩාවින්ගේ මතය වූයේ මිනිසුන්ට වෙනත් සතුන් සමග සෘජු ඥාතීත්වයක් ඇති බව පමණක් නොව, සතුන්ටද සමාජ, මානසික හා සදාචාරාත්මක ජීවිතයක් ඇති බවයි. පසුකාලයේ දී " ද ඩෙසන්ට් ඔෆ් මෑන් (1871) " හි ඔහු මෙසේ ලීවේය. " මිනිසාගේ සහ උසස් ක්ෂීරපායින්ගෙ මානසික හැකියාවන් අතර මූලික වෙනසක් නොමැත. "

පීටර් සිංගර් සහ ටොම් රේගන් වැනි නූතන දාර්ශනිකයන් සහ බුද්ධිමතුන්ගේ තර්කය වන්නෙ මිනිසුන්ට මෙන්ම සතුන්ටද වේදනාව දැනීමට ඇති හැකියාව, ඔවුන්ගේ යහපැවැත්ම ද සමානව සළකා බැලීමට හේතුවක් වන බවයි. මෙම චින්තනයේ පූරවගාමීන් බොහෝ ය. උපයෝගීතාවාදයේ නිර්මාතෘ ජෙරමි බෙන්තම් සිය සදාචාරය හා නීති සම්පාදනය පිළිබඳ හැදින්වීමක් ( 1789 ) හි ප්‍රසිද්ධියේ මෙසේ ලිව්වේය :

" ගැටලුව, ඔවුන්ට හේතු දැක්විය හැකිද ? යන්නවත්, කතාකළ හැකිද ?යන්නවත් නොවේ. ඔවුන්ට, වේදනා විදිය හැකිද ? යන්නයි. "

මෙම තර්ක අනුව යමින් සමහරුන් යෝජනා කොට ඇත්තේ සත්ව සුභසාධනය යනු එය මිනිස් සුභසාධනයට පමණක් බලපාන්නෙ කොයි ආකාරයෙන් ද යැයි වක්‍රව අවධානයට යොමු විය යුත්තක් නොව, සමාජ සුභසාධනය කෙරෙහි සෘජුවම යොමු විය යුත්තක් බවයි. වර්තමානයේ බොහෝ රටවල් සත්ව හැගීම් සහ දුක් වේදනා විධිමත් ලෙස පිළිගෙන ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් කුරිරුකම් නීතිවිරෝධී යැයි සම්මත කොට ඇත.

ප්‍රභේද

සත්ව හිංසනය 
පශු වෛද්‍ය සායනයක මන්දපෝෂණයෙන් පෙළෙන අශ්වයෙක්

සත්ව හිංසාව ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි : ක්‍රියාකාරී සහ උදාසීන. උදාසීන යන්නෙන් මෙහි නිරූපණය කරනු ලබන්නේ නොසළකා හැරීමයි, එනම් පියවරක් ගත යුතුව තිබියදී එසේ නොකොට නොසළකා හැරීම යන කෲරත්වයයි. මෙය බොහෝවිට අහම්බයක් හෝ නොදන්නාකම නිසා සිදුවේ. නොදන්නාකම නිසා කුරිරුකමක් සිදුවී ඇතැයි සිතෙන බොහෝ අවස්ථාවලදී සිද්ධිය විමර්ශනය කරන නිලධාරියා විසින් එම සතුන්ගේ අයිතිකරු ඒ පිළිබඳව දැනුවත් කරවා යළි පසු දිනෙක විමර්ශනය කිරීමක් වැනි පියවරක් ගත හැක. වඩාත් දරුණු අවස්ථාවලදී සත්වයා එම ස්ථානයෙන් ඉවත් කොට පශුවෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීම සිදුවේ.

කර්මාන්ත සත්ව පාලනය

එංගලන්තයේ  'තත්ව සහතික කළ' ඌරු  ගොවිපලක දර්ශන
ඌරු ගොවිපලක සිදුවන කුරිරුකම්.
සත්ව හිංසනය 
බිත්තර දැමීම සදහා , හිංසාකාරී ලෙස කූඩු කර ඇති කිකිළියන්
සත්ව හිංසනය 
කුකුල් බිත්තර නිෂ්පාදන ආයතනයක තත්ත්වය

කර්මාන්ත සත්ව පාලනයේදී සාමාන්‍යයෙන් සත්ව ගොවිපළවල් නිර්මාණය කරනු ලබන්නෙ විශාල භූමියක කාර්මික පහසුකම් මධ්‍යයේ වේ. මේවායේ කුඩා ඉඩ ප්‍රමාණවල සතුන් විශාල වශයෙන් ඇතිකරනු ලැබේ ; කර්මාන්තශාලා ගොවිපළවල් ලෙස මේවා හදුන්වනු ලැබේ. මේවායේ දැඩි කාර්මික ස්වභාවය, එදිනෙදා ක්‍රියා පටිපාටි හා සත්ව පාලන පිළිවෙත් සත්ව සුභසාධනය කෙරෙහි සෘණ දායකත්වය දරයි. එය සත්ව හිංසනය කෙරෙහි ධන දායකත්වයක් දරයි. 1899 දී හෙන්රි ස්ටීවන් සෝල්ට් කියා සිටියේ ඉතා සංවේදී මෙම සතුන් මහා පරිමානෙන් ප්‍රවාහනය කිරීම හා ඝාතනය මානුෂීය ආකාරයකින් සිදුකිරීම කළ නොහැක්කක් බවයි. ගොවිපළ සතුන් සංඛ්‍යාව හා සසඳන විට දඩයමට ලක්වන සතුන්, සහයට තබාගන්නා සතුන්, විද්‍යාගාරවල යොදාගන්නා සතුන්, ලොම් කර්මාන්තය සදහා යොදාගන්නා සතුන්, තරගවල, සත්වෝද්‍යානවල හා සර්කස්වල යොදාගන්නා සතුන් සංඛ්‍යාව නොගිනිය හැකියි. එබැවින් මතයක් වී ඇත්තේ "සත්ව සුභසාධන ගැටලුව" , "ගොවිපළ සත්ව සුභසාධන ගැටලුව" ලෙසට හැකිළිය හැකි බවයි. තවදුරටත් සොයාගෙන ඇත්තේ කුකුළන්, එළදෙනුන් , ඌරන් සහ වෙනත් ගොවිපළ සතුන් බහුලවම හිංසනයට ලක්වන සත්ව කොට්ඨාස අතර සිටින බවයි. උදාහරණයක් වශයෙන්, පිරිමි කුකුළන් බිත්තර නොදමන බැවින් ඉපදුණු වහාම ඔවුන් වෙනම තෝරාගෙන මැසෙරේටර් හෝ ඇඹරුම් යන්ත්‍ර භාවිතා කරමින් මරා දමනු ලැබේ. ගොවිපළ සතුන්ගේ මෙම ඛේදජනක ඉරණමට දායක වන තවත් සාධකයක් වන්නෙ ලොවපුරා අධික මාංශ පරිභෝජනය යි. බොහෝ රහසිගත පරීක්ෂණ විසින් මෙම කර්මාන්තශාලාවල සිදුවන සත්ව හිංසනය පිළිබඳව අනාවරණය කොටගෙන ඇති අතර මෙහි සත්‍ය කෲරත්වය පෙන්වා දුන් විට පාරිභෝගිකයන්ගේ ද ආකල්ප වෙනස් වී ඇති බව පෙන්වා දී ඇත.

ඇමෙරිකානු පශුවෛද්‍ය සංගමය ආහාර නිෂ්පාදනයේදී මෙලෙස දියරයක් යොදාගෙන මෘදු කිරීමේ හා කැබලි කිරිමේ ක්‍රියාවලිය ඇතැම් කොන්දේසිවලට යටත්ව පිළිගත්තද , වෙනත් වඩාත් මානුෂීය ක්‍රම නිර්දේශ කර සිටීයි. මෙම ක්‍රියාවලියෙන් පසුව බිත්තර දමන කිකිළියන්, කුඩා ඉඩ ප්‍රමාණයක සතුන් විශාල ප්‍රමාණයක් ගබඩා කරනු ලබන කෝෂ කූඩු වෙත යවනු ලැබේ. මැතෙනි සහ ලීහිගේ තොරතුරුවලින් අනාවරණය වන්නෙ මෙම කූඩු කිරීමේ ආකාරය නිසා සතුන් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වන බවයි. වේගයෙන් වර්ධනය වීමට ඔවුන්ගේ අස්ථි, හෘදය, සහ පෙනහලුවලට බොහෝ විට දරාගත නොහැකි තරම් ස්ටෙරොයිඩ ලබාදෙන බැවින් බ්‍රොයිලර් කුකුළන්ටද මේ හා සමාන ඉරණමක් හිමි වේ. සති හයකට අඩු බ්‍රොයිලර් කුකුළන් වේගවත් වර්ධන වේගය හේතුවෙන් වේදනාකාරී ලෙස අසරණ වන අතර එම නිසා සෑම මෙම කුඩා සතුන් සිය දෙනෙකුගෙන්ම අයෙක් හෘදයාබාධයකින් මිය යයි.

විශාල වූ සතුන් ප්‍රමාණයක් මධ්‍යයේ ආක්‍රමණශීලීත්වය අවම කිරීම සදහා, ඌරු පැටවුන් උපත ලබා සුලු මොහොතකින්ම ඔවුන්ගේ වෘෂණ කෝෂ ඉවත්කොට, වලිග හා දත් කපා ඉවත්කරනු ලැබේ. ඇතැම් විට ගව පැටවුන්, ගව පැටවුන් මස් කිරීමටම සෑදූ කරමාන්තශාලා වල එයටම සෑදූ කුඩා කූඩුවල ඇතිකරනු ලබයි. ඒවා පැටවුන්ගේ වර්ධනය අස්ථායී කරවන, මාංශ පේශී වර්ධනය වීම වළක්වන අඩු පිරිවැයකින් සැදූ කුඩා කුටි වේ. මේවායේ ඇතිදැඩි වීමෙන් සිදුවන්නෙ පරිභෝජකයින් ප්‍රිය ආකාරයට ගව මස ලා පැහැ වීමයි.

රසායනික ද්‍රව්‍ය හා යන්ත්‍ර යොදාගෙන අශ්වයින්ගේ ඉදිරිපෙළ පාදවලට වේදනා දීමට කටයුතු සැලැස්වීම වැනි නීතිවිරෝධී දේ ද සතුන්ගෙ සිරුරුවල නාමකරණය කිරීම වැනි නීතියෙන් අවසර සහිත කෲර දේ ගොවිපළවල්වල සිදුවේ. ගොවිපළ ක්‍රියාකාරකම් පිළිබඳ ව වීඩියෝගත කිරීම හා ඡායාරූපගත කිරීම ඇතැම් කෘෂිකර්ම හා සත්ව පාලන නීතිවලින් තහනම් වුවත්, Mercy For Animals සහ Humane Society of the United States වැනි සංවිධානවල නිලධාරීන්, බොහෝ අවස්ථාවලදී සේවකයන් ලෙස පෙනී සිටිමින් තොරතුරු තම බලධාරීන්ට වාර්තා කොට ඇත. ඇමෙරිකානු ගොවි කාර්යාංශ සම්මේලනය ( American Farm Bureau Federation ) වැනි කෘෂිකාර්මික සංවිධාන ගොවි සේවා යෝජකයින්ගෙන් රහසිගත තොරතුරු හා ඡායාරූප සඟවා ගැනීම දැඩි ලෙස සීමා කරන නීති රීති සදහා සාර්ථක පෙනී සිටියහ.

මානව ප්‍රචණ්ඩත්වයට හා මානසික ආබාධවලට සම්බන්ධ බවට චෝදනා

සත්ව හිංසාව සහ මිනිසුන්ට එරෙහි හිංසනය අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂි සපයන අධ්‍යයන තිබේ. 2009 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, සත්ව ඝාතකාගාරවල රැකියා නියුක්තිය, මුළු අත්අඩංගුවට ගැනීමේ අනුපාතය, ප්‍රචණ්ඩකාරී අපරාධ සදහා අත්අඩංගුවට ගැනීමේ අනුපාතය, ස්ත්‍රී දූෂණ අපරාධ සදහා අත්අඩංගුවට ගැනීමේ අනුපාතය, සහ වෙනත් ලිංගික අපරාධ සදහා අත්අඩංගුවට ගැනීමේ අනුපාතය, අනෙක් කර්මාන්තවලට සාපේක්ෂව ඉහළ නංවන බවයි.

සුරතල් සතුන් සහ කුඩා සතුන්ට වධහිංසා පැමිණවීමේ ඉතිහාසයක් තිබීම, සත්ව හිංසාකාරී හැසිරීම, මනෝ ව්‍යාධි පෞරුෂ ආබාධය ලෙසද හැඳින්වෙන "සමාජ විරෝධී පුද්ගල පෞරුෂ ආබාධය" වැනි ඇතැම් මනෝ ව්‍යාධි විද්‍යාවන්වල එක් සලකුණක් ලෙස සැලකේ. නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පතට අනුව "සතුන්ට හිංසා කිරීමේ ඉතිහාසයක් ස්ත්‍රී දූෂකයන් සහ මිනීමරුවන්ගේ පරිගණක වාර්තාවල නිරන්තරයෙන් දක්නට ලැබෙන ලක්ෂණයක් බව එෆ්.බී.අයි විසින් සොයාගෙන තිබේ. එමෙන්ම මනෝචිකිත්සක හා චිත්තවේගීය ආබාධ සඳහා වන සම්මත රෝග විනිශ්චය සහ ප්‍රතිකාර අත්පොත සතුන්ට හිංසා කිරීම, හැසිරීම් ව්‍යාකූලතාවය (conduct disorder) සඳහා රෝග විනිශ්චය කිරීමේ නිර්ණායකයක් ලෙසද ලැයිස්තුගත කරයි." "සුනඛයන්ට හා බළලුන්ට නැවත නැවතත් වධ හිංසා කළ මානසික රෝගීන් පිළිබඳ සමීක්ෂණයක් හෙළිකර ඇත්තේ, එම රෝගීන් සියල්ලන්ටම මිනිසුන් කෙරෙහි ද දරුණු ආවේගශීලී බවක් තිබී ඇති බවයි. කුඩා පිරිමි ළමයෙකු ඝාතනය කළ රෝගියෙකු ද ඒ අතර ඇත." ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චර්යාත්මක විද්‍යා ඒකකයේ නියෝජිතයෙකු වන රොබට් කේ. රෙස්ලර් අනුක්‍රමික ඝාතකයින් අධ්‍යයනය කර ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ "මෙවැනි මිනීමරුවන් (ජෙෆ්රි ඩැමර්) බොහෝ විට ආරම්භ වන්නේ ළමා කාලයේ සතුන් මැරීම සහ වධහිංසා පැමිණවීමෙන් " බවයි.

හිතාමතාම කරන සත්ව හිංසාව හෝ අහම්බෙන් ඇති නොවන තුවාල වැනි ක්‍රියාවන් බරපතල මානසික ගැටළු වල දර්ශකයන් විය හැකිය. ඇමරිකානු හියුමේන් සංගමයට (American Humane society) අනුව, හිතාමතාම කරන සත්ව අපයෝජන සිද්ධීන්ගෙන් 13% ක් ගෘහස්ථ හිංසනයට සම්බන්ධ වේ. ආරක්ෂිත නිවසක රැකවරණය පතන සුරතල් සතුන් ඇති කාන්තාවන්ගෙන් 71% ක් පමණ වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ සහකරු ඔවුන්ගේ සුරතල් සතුන්ගෙන් එකෙක් හෝ වැඩි ගණනක් මරණ බවට තර්ජනය කර හෝ / හා තුවාල කර හෝ මරා දැමූ බව යි. මෙම කාන්තාවන්ගෙන් 32% ක් වාර්තා කළේ තම දරුවන්ගෙන් එක් අයෙකු හෝ වැඩි දෙනෙක් ද සුරතල් සතුන් හට රිදවා හෝ මරා දමා ඇති බවයි. බැට කෑ කාන්තාවන් වාර්තා කරන්නේ ඔවුන් නොමැති විට සතුන්ට කුමක් සිදුවේදැයි ඔවුන්ගේ බිය, තම අපයෝජකයින් හැර යාමෙන් ඔවුන්ව වළක්වන බවයි. ගෘහස්ථ ආරවුල් වලදී සත්ව හිංසනය සමහර විට බිය ගැන්වීමේ ක්‍රමයක් ලෙස භාවිතා කරයි.

සතුන්ට හිංසා කිරීම, මැක්ඩොනල්ඩ් ත්‍රිකෝණයේ එක් ශීර්ෂයකි ; ළමුන් හා නව යොවුන් වියේ ප්‍රචණ්ඩ සමාජ විරෝධී හැසිරීම් වල එක් සලකුණක් ලෙස සැලකෙන හැසිරීමකි. මෙම ආකෘතිය සැකසීමට පාදක කොටගත් අධ්‍යයනවලට අනුව සතුන්ට හිංසා කිරීම, අනුක්‍රමික ඝාතකයින් සහ වෙනත් ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන් බවට පත් වන ළමුන් හා නව යෞවනයින්ගේ පොදු (නමුත් විශ්වීය නොවන) හැසිරීමකි. සතුන්ට කුරිරු වන ළමයින් බොහෝ විට අපයෝජනයන්ට ලක්ව ඇති බව හෝ අපයෝජනයන්ට සාක්ෂිකරුවන් වී ඇති බව ද සොයාගෙන ඇත. එක්සත් ජනපදයේ හියුමේන් සංගමය (Humane Society of the United States) විසින් උපුටා දක්වන ලද වෙනම අධ්‍යයන දෙකකට අනුව ගෘහස්ථ අපයෝජනයෙන් බැට කන පවුල් වලින් තුනෙන් එකක පමණ අවම වශයෙන් එක් දරුවෙකු හෝ විසින් සුරතල් සතෙකු හට තුවාල කර හෝ මරා දමා ඇති බවයි.

සංස්කෘතික චාරිත්‍ර

බොහෝ අවස්ථාවලදී, ආසියානු අලි ඇතුන් තායිලන්තයේ දී අල්ලාගත් විට, හසුරවන්නන් අලි ඇතුන්ට නිසි නින්දක් ලබා නොදී, ඔවුන්ව සිතාමතාම කුසගින්නේ හා පිපාසයෙන් තබා, " ආත්මයම බිඳ දමා ", එමගින් මෙම සතුන් පුහුණුකරුවන්ට යටහත් පහත් කරවීම සඳහා "පුහුණුවෙන් බිඳවැට්ටවීම" නම් උපායක් භාවිතා කරයි.එපමණක් නොව, හසුරුවන්නන් අලි ඇතුන්ගේ කන් සහ පාදවලට නියපොතු ද ඇතුල් කරති.

අනාවැකි කීමේ අරමුණු සඳහා සතුන්ට කුරිරු ලෙස සැලකීම පුරාණ සංස්කෘතීන්වල දක්නට ලැබෙන අතර සැන්ටේරියා වැනි සමහර නූතන ආගම්,සුව කිරීම සහ වෙනත් චාරිත්‍ර වාරිත්‍ර සඳහා සත්ව බිලි පූජා දිගටම කරගෙන යයි. පුරාණ ස්කොට්ලන්ත ජාතිකයන් විසින් යක්ෂයන් කැඳවීම සඳහා තාගීර්ම් සිදුකරන ලදී.

රූපවාහිනිය සහ චිත්‍රපට නිර්මාණය

සත්ත්ව හිංසාව දිගු කලක් තිස්සේ චිත්‍රපට නිෂ්පාදන කලාවට ගැටළුවක් වී ඇති අතර, ඇතැම් ඉහළ ආදායම් ලාභී හොළිවුඩ් චිත්‍රපට පවා නිෂ්පාදනයේදී සතුන්ට හානිකර හා සමහර විට මාරාන්තික ලෙස සැලකීම සම්බන්ධයෙන් විවේචනයට ලක්වී ඇත. උසාවි තීන්දු මගින් සත්වයන්ට හානියක් වන චිත්‍රපට, සුනඛ සටන් නිරූපණය කරන වීඩියෝ වැනි දෑ විවේඡනය කර ඇත.

1939 දී එළි දැක්වූ ජෙසී ජේම්ස් චිත්‍රපටයේ එක් ජවනිකාවක් රූගත කිරීමේදී , අශ්වයෙකු , ලෑල්ලකින් ලිස්සා , අඩි 40 ක් පමණ උසකින් ඇද වැටී , ජලාශයක ගිලී මිය ගොස් ඇත. මේ අවාසනාවන්ත සිදුවීමත් සමග , ඇමරිකානු චිත්‍රපට ක්ෂේත්‍රය , ඇමරිකානු හියුමේන් සංගමයේ (AHA) අධීක්ෂණයට ලක් විය. මුලදී, සත්ව හිංසාව අධීක්ෂණය කිරීම චලන පින්තූර නිෂ්පාදන කේතය හරහා හේස් කාර්යාලයේ නිලධාරීන් සහ AHA අතර හවුලේ සිදුවූවක් විය. කේතයේ විධිවිධාන "ළමයින්ට සහ සතුන්ට පෙනෙන කෲරත්වය" අධෛර්යමත් කළ අතර, මෙම වගන්තිය බලාත්මක කිරීමට හේස් කාර්යාලයට බලය තිබූ හෙයින්, ඇමරිකානු හියුමේන් සංගමයට (AHA) බොහෝ විට එය පිළිපැදීම පිළිබඳව තක්සේරු කිරීමට රූගතකිරීම් සිදුවන ඉසව් වලට ප්‍රවේශ විය. කෙසේ වෙතත්, AHA ගේ හොලිවුඩ් කාර්යාලයට මෙසේ රූගතකිරීම් අධීක්ෂණය කිරීම හේස් කාර්යාලය මත රඳා පැවතුන හෙයින්, 1966 දී හේස් කාර්යාලය වසා දැමීම චිත්‍රපට රූගතකිරීම් අතරතුර සත්ව හිංසාව වැඩිවීමට බලපෑවේ ය.

මීට අමතරව, ලොව පුරා අනෙකුත් සත්ව සුභසාධන සංවිධාන ද චිත්‍රපට සඳහා සතුන් භාවිතා කිරීම නිරීක්ෂණය කර ඇත.

1977 වන විට, තිර රංගන ශිල්පීන්ගේ සංසදය (SAG) ( Screen Actors Guild / SAG) සහ ඇමරිකානු රූපවාහිනී හා ගුවන්විදුලි කලාකරුවන්ගේ සම්මේලනය ( American Federation of Television and Radio Artists ) අතර තුන් අවුරුදු ගිවිසුමක් ක්‍රියාත්මක වූ අතර, ඇමරිකානු මානව සංගමයෙන් “සුදුසු අවස්ථාවලදී සතුන් භාවිතා කිරීම පිළිබඳව උපදෙස් ලබා ගත යුතුය” යනුවෙන් නියම කරන ලදී. නමුත් මෙම කොන්ත්‍රාත්තුව විසින් "සුදුසු" යන්නෙන් අදහස් කරන දේ සඳහා අර්ථ කථනයක් සපයා දී තිබුනේ නැති අතර බලාත්මක කිරීමේ බලයක් ද නොතිබුණි. මෙම කොන්ත්‍රාත්තුව 1980 දී කල් ඉකුත් විය.

චිත්‍රපටවල සත්ව හිංසාව පිළිබඳ වඩාත් කුප්‍රකට උදාහරණයන්ගෙන් එකක් වන්නේ මයිකල් සිමිනෝ ගේ "හේවන්ස් ගේට්" (1980) ය. එහි සතුන් විශාල ප්‍රමාණයක් අමානුෂික ලෙස මරා දමන ලදී. සිමිනෝ විසින් කුකුළන් මරා දමා සහ අශ්වයන්ගේ ගෙලවල් වලින් රුධිරය ගැලීමට සලස්වා, ඔවුන්ගේ රුධිරයේ සාම්පල චිත්‍රපටයේ නළු නිළියන්ගේ රූප රාමු සදහා යොදාගත් බවත් , යුධ අවස්ථාවක් රූගත කිරීමේදී අශ්වයෙකු ඩයිනමයිට් ‍යොදා පිපිරවූ බවත්, එම වෙඩි තැබීම චිත්‍රපටයට ඇතුළත් කළ බවත් කියැවේ. මෙම චිත්‍රපටය, චිත්‍රපටවල සත්ව හිංසනය පිළිබඳ නව පරීක්ෂාවලට දැඩි හේතුවක් වූ අතර 1980 දී AHA විසින් සතුන්ට සැලකීම අධීක්ෂණය කිරීම සඳහා නිල වශයෙන් බලතල ලබා ගැනීමට මග පෑදුවේය.

ප්‍රධාන නළුවා මෙන්ම අධ්‍යක්ෂක ද වූ වොරන් බීටි (Warren Beatty) , Reds (1981) චිත්‍රපටය නිකුත් කිරීමෙන් පසු, තමා දර්ශන තලයේ නොසිටි අවස්ථාවක සිය ස්පාඤ්ඤ චිත්‍රපට කණ්ඩායම විසින් , යුද ජවනිකාවක් රූගත කිරීමේදී අශ්වයන් මත ට්‍රිප් වයර් භාවිතා කිරීම ගැන සමාව අයැද සිටියේය. රම්බෝ III (Rambo III) (1988) සහ ද තර්ටීන්ත් වොරියර් (The 13th Warrior) (1999) රූගත කරන විට අශ්වයන්ට එරෙහිව ට්‍රිප් වයර් භාවිතා කරන ලදී. ඇපොකැලිප්ස් නව් (Apocalypse Now) (1979) නිෂ්පාදනය අතරතුර ගොනෙකු ආසන්න වශයෙන් අඩකින් කපා දැමූ අතර, ඩෙන්මාරක් චිත්‍රපටයක් වන මැන්ඩර්ලේ (Manderlay) (2005) සඳහා නාටකාකාර ලෙස බූරුවෙකු රුධිරය ගලා යාමට ඉඩහැර මරණයට පත් කරන ලදී.

සත්ව හිංසනය 
ගානා හි ඇක්‍රා ප්‍රාන්තයේ ජේම්ස්ටවුන් හි දී හසු වූ කැස්බෑවා

එහි අධ්‍යක්ෂ Kim-Ki-Duk පවසන පරිදි දකුණු කොරියානු චිත්‍රපටයක් වන ද අයිල් (The Isle) (2000) හි සතුන් කෙරෙහි කුරිරුකම් පිළිබඳ සිද්ධියක් තිබේ. චිත්‍රපටයේ , සැබෑ ගෙම්බෙකු පණපිටින් හම ගසා ඇති අතර මාළු කපා කොටා ඇත. මතභේදාත්මක ඉතාලි චිත්‍රපටයක් වන කැනිබල් හොලෝකෝස්ට් Cannibal Holocaust (1980) චිත්‍රපටයේ රූපරාමු සඳහා සතුන් හත් දෙනෙකු ඝාතනය කරන ලදී. කැස්බෑවෙකුගේ හිස ගසා ඉරා දැමීම, වඳුරෙකුගේ හිස ගසා දැමීම සහ ඔහුගේ මොළය ස්වදේශිකයන් විසින් පරිභෝජනය කිරීම සහ මකුළුවෙකු වෙන් කිරීම මෙම චිත්‍රපටයේ රූපවලට ඇතුළත් ය. කැනිබල් හොලොකෝසට් යනු සමාන තේමාවන් සහිත සත්ව හිංසාව සිදුකොට එළිපිට නොපෙන්වූ චිත්‍රපට (කැනිබල් චිත්‍රපට) සමූහයක එක් චිත්‍රපටයක් පමණි. මොන්ඩො (Mondo) චිත්‍රපටකරුවන් ට අයත් චිත්‍රපටවල බලපෑම් මේවායෙ මුල් බැස තිබූ අතර සමහර විට ඒ හා සමාන අන්තර්ගතයන් ද අඩංගු විය. එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයක, කැනිබල් හොලොකෝස්ට් නිදහස් කිරීමට අවසර දී ඇත්තේ සත්ව හිංසාවන් බොහොමයක් සංස්කරණය කරමිනි.

මෑතකදී, වීඩියෝ බෙදාහැරීමේ වෙබ් අඩවියක් වන යූ ටියුබ් සත්ව හිංසනයේ වීඩියෝ දහස් ගණනක් ප්‍රචාරය සදහා දායකත්වය සැපයීමට විවේචනයට ලක් වී ඇත. විශේෂයෙන් විනෝදාස්වාදය සඳහා එක් සතෙකු තවත් සතෙකුට පෝෂණය කිරීම වැනි දෑ මෙයින් ප්‍රධාන වේ. මෙම වීඩියෝ සමහරක් පරිශීලකයින් විසින් නුසුදුසු යැයි සලකුණු කර තිබුනද , ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළත් වීඩියෝ ඉවත් කිරීමට වෙනස්ව යමින් මේවා ඉවත්කිරීම යූ ටියුබ් මගින් සෑමවිටම වාගේ ප්‍රතික්ෂේප කර ඇත.

තිර රංගන ශිල්පීන්ගේ සංසදය (SAG) , ඇමරිකානු මානව හිතවාදී සංගමයේ (AHA) සමඟ ගිවිසුම්ගත වී ඇත්තේ රූගත කිරීම් අතරතුර හෝ චිත්‍රපට පරිශ්‍රය තුල සත්ව භාවිතය අධීක්ෂණය කිරීම සඳහා ය. මෙම විධිවිධානයට අනුකූල වීම ස්වේච්ඡාවෙන් සිදු වන අතර එය අදාළ වන්නේ එක්සත් ජනපදයේ නිෂ්පාදිත චිත්‍රපට සඳහා පමණි. AHA විසින් අධීක්ෂණය කරන ලද චිත්‍රපටවල ඇතැම් විට චිත්‍රපටය අවසානයේ ඔවුන්ගේ අවසාන පණිවිඩයක් ඇතුළත් විය හැක. එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඇතුළු බොහෝ නිෂ්පාදන චිත්‍රපටවල සත්ව භාවිතය පිළිබඳ AHA හෝ SAG ට උපදෙස් දෙන්නේ නැත, එබැවින් අධීක්ෂණයේදී නොසළකා හැරීම් නොමැත.

සත්ව හිංසාව පිළිබඳ රූපරාමු , චිත්‍රපට කර්මාන්තයේ මෙන්ම රූපවාහිනිය තුල ද දක්නට ලැබේ. 1999 සැප්තැම්බර් 23 WWE Smackdown! හිදී එක් කතාවක දී Big Boss Man, Al Snowට ප්‍රයෝගයක පෙන්වීමට උත්සාහ කළේ ඔහුගේ සුරතලා වන පෙපර් (Pepper) නැමැති chihuahua සුනඛයා කන බවයි.

සර්කස්

සතුන් රඟදැම්වීමේ පුහුණුව අතරතුර සිදුවන සත්ව හිංසාවන් පිළිබඳව සත්ව සුභසාධන කණ්ඩායම් විසින් වාර්තා කර ඇති නිසා, සර්කස්වල සතුන් භාවිතා කිරීම මතභේදාත්මක යි.සතුන් අඩු ඉඩක කොටු කිරීම, නිතිපතා පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම, දැඩි හිංසාකාරී පුහුණු ක්‍රම සහ සිරුරු නියාමනය කිරීමෙහි ලා නිසි අධීක්ෂණයක් නොකිරීම වැනි සත්ව හිංසනය පිළිබඳ බොහෝ අවස්ථා වාර්තා වී ඇත. සත්ව පුහුණුකරුවන් තර්ක කර ඇත්තේ කෑගැසීම් ඇසෙන විට සතුන් තම පුහුණුකරු තමන්ට රිදවීමට යන බව විශ්වාස කිරීම, කූඩු කිරීම කුරිරු බව හා බහුල බව,කස, දම්වැල් හෝ පුහුණු උපකරණ භාවිතා කිරීමෙන් හානි සිදුවීම, වැනි සමහර විවේචන සත්‍යය මත පදනම් නොවන බවයි.

වර්තමානයේ ඇතැම් සර්කස් වල සත්වයන්ගෙන් තොර රඟදැක්වීම් ඉදිරිපත් කරයි. සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සර්කස් තුල ලොව ප්‍රථම සත්ව තහනම ලෙසින් හදුන්වනු ලබන ක්‍රියාමාර්ගය බොලිවියාව විසින් බලාත්මක කර ඇත.

ගව පොර

සත්ව හිංසනය 
ගව පොරයකදී මිය යමින් සිටින ගවයෙක්

ගවයින්ට දැඩි පීඩාකාරී හා වේදනාත්මක මන්දගාමී මරණයක් ලබාදෙන ම්ලේච්ඡ, ලේ හැලීම් බහුල, ක්‍රීඩාවක් ලෙසට " ගව පොර ", සත්ව අයිතිවාසිකම් හා සත්ව සුභසාධන ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්වී ඇත. ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් ස්පාඤ්ඤයේ සහ වෙනත් රටවල ගව පොරවලට එරෙහිව නැගී සිටිමින් විවිධාකාර පියවර ගනිමින් සිටියි. ස්පාඤ්ඤ භාෂාවෙන් ගොන් පොරවලට එරෙහි වීම antitaurismo ලෙස හැඳින්වේ.

බුලට්පොයින්ට් බුල්ෆයිට් ,ගොන් පොරබැදීම “දුර්වලයින් සඳහා නොවේ” යැයි අනතුරු හඟවන අතර ප්‍රේක්ෂකයන්ට උපදෙස් දෙන්නේ “රුධිරය සඳහා සූදානම්ව සිටින්න” යනුවෙනි.

සන්නද්ධ අශ්වාරෝහකයින්ගේ පහරදීම , ගවයා දෙසට “මත් කර ඇති, සහ ගොනාගේ සමීපත්වය ගැන නොදන්නා” ඇස් බදිනු ලැබූ ආයුධ සන්නද්ධ අශ්වයෙකුගේ ප්‍රහාරාත්මක දිව ඒම, බැන්ඩරිලේරෝවරුන් විසින් අනිනු ලබන කටු සහිත ඊතල, පසුව මැටඩෝර්ගේ මාරාන්තික කඩුපහර යන හේතු නිසා ඇති වන දීර්ඝ හා අධික රුධිර වහනය පිළිබඳව ද එහි විස්තර කෙරේ.මෙම ක්‍රියා පටිපාටි ගොන් පොර වල සාමාන්‍ය කොටසක් බවත් මරණය ක්ෂණිකව සිදුවීම දුර්ලභ බවත් එය අවධාරණය කරයි. ගොන් සටන්වලට සහභාගී වන අයට “සත්වයා වැතිරීමට පෙර මරා දැමීමට දැරූ අසාර්ථක උත්සාහයන් දැක බලා ගැනීමට සූදානම්ව සිටින ලෙස” තවදුරටත් උපදෙස් දෙයි.

ටොරෝ එම්බොලාඩෝ

සත්ව හිංසනය 
ටොරෝ ජුබිලෝ, මැඩ්රිඩ්, 2014.

ස්පාඤ්ඤයේ මෙඩිනේස්ලි සෝරියාහී සිදු කෙරෙන “ටෝරෝ ජුබිලෝ“ හෙවත් ටෝරෝ එම්බලාඩෝ යනු සත්ත්ව හිංසනය හා සම්බන්ධ උත්සවයකි. මෙම උත්සවයේ දී ගල්තාර බෝල ගොනෙකුගේ අං තට්ටුවට සවි කර ගිනි තබනු ලැබේ. එම ගොනා ඉන් අනතුරු ව මාර්ගයට නිදහස් කරන අතර, ගින්න නිවා ගැනීමේ අරමුණින් නිරන්තරයෙන් ම බිත්ති මතට කඩා වදිමින් වේදනාවෙන් අවට දිව යෑම හැර උට කල හැකි කිසිවක් නොමැත. මෙම ගිනි බෝල පැය ගණනාවක් දැල්වීමට ඉඩ ඇති අතර ඒවා ගොනාගේ අං, ඇස් සහ ශරීරය පුලුස්සා දමන්නේ ප්‍රේක්ෂකයින් ඔල්වරසන් නගමින් ගොඳුර වටා දිව යන අතරවාරයේ ය. සත්ත්ව අයිතිවාසිකම් සඳහා වූ PACKMA කණ්ඩායම මෙම සැණකෙලිය සත්ත්ව හිංසනය සම්බන්ධ පැහැදිලි නිදසුනක් ලෙස විස්තර කරන අතර, PETA එය “පරපීඩාකාමී උත්සවයක්“ ලෙස හඳුන්වයි.

සත්ව හිංසනය 
පළමුවන ලෝක යුද්ධ සමයේදී ගෑස් වෙස් මුහුණක් සහිත අශ්වයෙක්.

රැටල්ස්නේක් රව්න්ඩ් අප්ස්

සත්ව හිංසනය 
ස්නේක් චාමර් මෙනවිය, "හැනා ස්මිත් සහ කව්බෝයි සර්ප හසුරුවන්නෙකු වන ටෙරී" හොලිවුඩ් "ආම්ස්ට්‍රෝං, ටෙක්සාස්හි ස්වීට්වෝටර් හි 2014 දී" ලොව විශාලතම රැට්ල්ස්නේක් රවුන්ඩ්අප් "හි විශාල නිදර්ශකයක් ඔසවයි.

රැටල්ස්නේක් රව්න්ඩ් අප්ස් හෙවත් රැටල්ස්නේක් රෝඩියෝස් යනු එක්සත් ජනපදයේ මධ්‍ය බටහිර සහ දකුණු ගම්බද ප්‍රදේශයන්හී ප්‍රසිද්ධ වාර්ෂික උත්සවාංගයකි. මෙහි දී කොටු කර ගන්නා ප්‍රාථමික ආකර්ෂණයන් වන රැටල්ස්නේක් විකිණිම, ප්‍රදර්ශනය, ආහාර හෝ සම් වැනි සත්ත්ව නිෂ්පාදන සඳහා මරා දැමීම හෝ යළි වනාන්තරයට නිදහස් කිරීම සිදු වේ. එක්සත් ජනපදයේ විශාලතම රැටල්ස්නේක් කොටු කිරීම පැවැත්වෙන්නේ ටෙක්සස්හී ස්විට්වෝටර්වලය. 1958 වසරේ සිට වාර්ෂික ව පවත්වන මෙම උත්සවාංගය දැනට වසරක දී ආකර්ෂණය කර ගන්නා සංචාරකයින් ප්‍රමාණය තිස්දහසක් පමණ වේ. එමෙන් ම 2006 වසරේ දී එක් වාර්ෂික කොටු කිරීමක්, ජනපදයේ රැටල්ස්නේක් ගහනයෙන් 1%ක් පමණ අල්ලාගැනීමට හේතු වී ඇත. සත්ත්ව හිංසනය හා අනාගත අන්තරායකරණයට ඇති දැඩි තර්ජනය හේතුවෙන් රැටල්ස්නේක් කොටු කිරීම සත්ත්ව සුබසාධන කණ්ඩායම් සහ සංරක්ෂකයින්ගේ සැලකිල්ලට බඳුන් වී ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් සමහර කොටු කිරීම් උත්සවාංගය කොටු කිරීමේ සීමාවන් සහ අල්ලා ගත් රැටල්ස්නේක් කැලයට නිදහස් කිරීමේ රෙගුලාසිවලට යටත් කර ඇත.

යුධ කටයුතු

යුධ සතුන් යනු යුධ කටයුතු සදහා මිනිසුන් විසින් යොදාගෙන ඇති සතුන් ය. මේ මිනිසුන්ගේ උදව්වට සතුන් යොදාගැනීමේ එක් නිශ්චිත ආකාරයකි. අශ්වයින්, සුනඛයින් සහ ඩොල්ෆින් සතුන් උදාහරණ වේ. යුධ කටයුතුවලට සතුන් යොදාගැනීම මෑතක් වන තුරුම ගැටලුවක් නොවී ය. නමුත්, ජීව බෝම්බ (උදාහරණයක් වශයෙන් බූරුවන් වැනි සතුන් පුපුරවා දැමීම) හා යුධ පර්යේෂණ අරමුණු සදහා (උදාහරණයක් වශයෙන් බිකිනි ඇටොල්හි පරමාණුක අත්හදා බැලීම්) වැනි කෲර විවේචනාත්මක සිද්ධි නිසා එය ආන්දෝලනයට ලක් විය.

යුධ අනුස්මරණයේ බ්‍රිතාන්‍යය සතුන්ගේ අනුග්‍රාහිකාව වශයෙන් පෙනී සිටි බ්‍රිතාන්‍යයේ රාජකීය කුමරියක වන ඈන් කුමරිය, ප්‍රකාශ කළේ සතුන් මිනිසුන් තමන්ගෙන් අපේක්ෂා කරන දේට අනුවර්තන වනමුත්, ඔවුන්, ඔවුන් අකමැති දේ පුහුණුවක් සමග වුවද නොකරන බවයි. මානව ගැටුම් සදහා සතුන්ගේ සහභාගීත්වය 2004 දී, එක්සත් රාජධානියේ ලන්ඩනයේ හයිඩ් පිටියේ යුධ සතුන් වෙනුවෙන් නිර්මාණය කළ යුධ ස්මාරකය ජනතාවට එළිදැක්වීමේදී ගෞරවයෙන් සිහි කරනු ලැබිණි.

2008 දී, එක්සත් ජනපද මැරීන් ඩේවිඩ් මෝටාරී ඉරාක ගැටුමේදී බලු පැටවෙකු කදු මුදුනකින් පහළට වීසී කරන වීඩියෝවක් අන්තර්ජාලය කැලඹූ අතර සොල්දාදුවාගේ කුරිරු ක්‍රියාව දැඩි ලෙස විවේචනයට ලක් විය.

විවිධ රටවලට අනුව නීතී රීතී සම්පාදනය වී ඇති ආකාරය

සත්ව හිංසනය 
වෙඩි වැදුනු  බළලෙකුගේ පපුවේ එක්ස් කිරණ ඡායාරූපයක් . සුදු ලප වලින් ඊයම් වෙඩි දක්වේ.

ලොව පුරා බොහෝ අධිකරණ බලයන් විසින් ඇතැම් සතුන්ට කුරිරුකම් කිරීම තහනම් වන ලෙස ප්‍රතිපත්ති පනවා ඇති නමුත් මේවා ඒ ඒ රටවල් අනුව සහ භාවිතය අනුව වෙනස් වේ.

අප්‍රිකාව

ඊජිප්තුව

ඊජිප්තු නීතියට අනුව ඕනෑම ගෘහාශ්‍රිත සතෙකුට අමානුෂික ලෙස පහර දෙන හෝ හිතාමතා මරා දමන ඕනෑම අයෙකුට සිර දඩුවම් හෝ දඩ නියම කළ හැකිය. සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ ඊජිප්තු සංගමය ( SPCA ) මීට වසර සියයකට පමණ පෙර බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද අතර වර්තමානයේ එය පරිපාලනය කරනු ලබන්නෙ ඊජිප්තුවරුන් විසිනි. 1997 දී ඊජිප්තුවේ ගව පොර තහනම් කිරීම ප්‍රවර්ධනය කිරීමට SPCA දායක විය.

පුරාණ ඊජිප්තු නීතීයට අනුව, සුනඛයින් හා බළලුන් ඝාතනය කළ අයට හිමි වූයේ මරණ දන්ඩනය යි.

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාවේ 1962 අංක 71 දරන සත්ව ආරක්ෂක පනත මගින් " මිනිසුන්ගේ භාරයේ සිටින ගොවිපළ සතුන්, ගෘහාශ්‍රිත සතුන් හා පක්ෂීන්, වන සතුන්, කුරුල්ලන් සහ උරගයින්" සම්බන්දයෙන් ආවරණය කරයි.

අධික ලෙස බර පැටවීම, සිරගත කිරීමෙන් අනවශ්‍ය වේදනාවක් ලබාදීම, දම්වැල් දැමීම, අතහැර දැමීම, ආහාර හෝ ජලය අනවශ්‍ය ලෙස ප්‍රතික්ෂේප කිරීම, අපිරිසිදු හෝ පරපෝෂිත තත්වයක තබාගැනීම, හෝ පශුවෛද්‍ය ආධාර ලබාදීමට අපොහොසත් වීම ඇතුළු තහනම් කුරිරු ක්‍රියාවන් පිළිබඳව සවිස්තර ලැයිස්තුවක් මෙම පනතේ අඩංගු වේ. අනවශ්‍ය, අසාධාරණ හෝ නොසැලකිළිමත් අණක් හෝ ක්‍රියාවන් අතහැරදමා මගහැරීම තහනම් කරන පොදු විධිවිධානයක් ද ඇත. 2013/14 සිට 2016/17 දක්වා කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර දෙපාර්තමේන්තුව සත්ව ආරක්ෂණ නීති යාවත්කාලීන කිරීම ගැන සදහන් කරයි.

NSPCA යනු දකුණු අප්‍රිකාවේ විශාලතම හා පැරණිතම සත්ව සුභසාධන සංවිධානය වන අතර එය සත්ව ආරක්ෂණ පනත බලාත්මක කිරීම මගින් රටේ සිදුවන සියලුම සත්ව හිංසාවන්ගෙන් 90%ක් බලාත්මක කරයි.

දකුණු සුඩානය

දකුණු සුඩානයේ අපරාධ නීති සංග්‍රහයේ සත්ව හිංසාවට එරෙහිව නීති තිබේ. ඒවා මෙසේය:

196. ගෘහස්ථ සතුන්ට අයහපත් ලෙස සැළකීම .

    හීලෑ , ගෘහාශ්‍රිත හෝ වෙනත් වන සතුන්, හෝ කලින් නිදහස අහිමි වූ සතුන්ට කුරිරු ලෙස පහරදීම , වධහිංසා පැමිණවීම හෝ වෙනත් ආකාරයකින් හිතාමතාම හිරිහැර කිරීම, හෝ කුකුළන්, බැටලුවන්, ගවයින් හෝ වෙනත් ගෘහාශ්‍රිත සතුන් අතර සටන් සංවිධානය කිරීම හෝ ප්‍රවර්ධනය හෝ ඒවාට උනන්දු කරවීම වරදක් වන අතර එවැන්නකට වරදකරු වුවහොත් මාස දෙකකට නොඉක්මන සිර දඩුවමක් නියම වේ.

197. සත්වයා පැදවීම සහ නොසලකා හැරීම .

    වයස, අසනීප, තුවාල හෝ දුර්වලතා හේතුවෙන් වැඩ කිරීමට නොහැකි තත්වයක සිටින ඕනෑම සත්වයෙකු හිතාමතාම පැදයාම, අධික ධාවනය හෝ අධික ලෙස බර පැටවීමත්, එලෙස කිරීමෙන් ඕනෑම සතෙකුට දෙනු ලබන අනවශ්‍ය වේදනාව නොසළකා හැරීමත් වරදක් වන අතර වරදකරුට මාසයක් නොඉක්මන සිර දඩුවමක් හෝ දඩයක් හෝ දෙකම හෝ නියම වේ.

ඇමෙරිකාව

ආර්ජන්ටිනාව

ආජන්ටිනාවේ ජාතික නිතීය 14346 යටතේ සතුන්ට හිංසා පීඩා කරන්නවුන් සදහා දින 15 සිට වසරක් දක්වා සිර දඩුවම් නියම කරයි.

කැනඩාව

කැනඩාවේදී, අපරාධ නීති සංග්‍රහය අනුව සතුන්ට හිතාමතාම තුවාල සිදුකිරීම හෝ වේදනා ගෙන දීම වරදකි. විශේෂයෙන් සතුන්ට වස දීම තහනම් වේ. තවද තවත් පුද්ගලයකුට අයත් සතෙකුට හානි කරන බවට තර්ජනය කිරීම ද වරදකි. බොහෝ පළාත් හා පාලන ඒකක සඳහා සතුන් සුරැකීමේ ඔවුන්ගේම නීති රෙගුලාසි පවතී. කෙසේ වුවත් පරිභෝජනය සඳහා බල්ලෙකු හෝ බළලෙකු මැරීම කැනේඩියානු නීතියට අනුව නීති විරෝධී නොවේ.

සත්ව නීති ආරක්ෂණ අරමුදල (Animal Legal Defense Fund) මගින් සෑම ප්‍රදේශයකම සත්ව ආරක්ෂණ නීති ශ්‍රේණිගත කිරිමේ වාර්ෂික වාර්තාවක් පළ කරනු ලබයි. ඒ එම නීතීන් හි ශක්තිමත් බව හා සාපේක්ෂ විස්තීරණතාවය මත ය. 2014 වර්ෂයේදී ඉහලම අධිකරණ බලය පැවතියේ මැනිටෝබා, බ්‍රිටිශ් කොලොම්බියාව, ඔන්ටාරියො හා නෝවා ස්කොටියා වලය. ලැයිස්තුවේ පහළින්ම වූයේ සස්කැච්වන්, වයඹ දිග ප්‍රදේශ, ක්විබෙක් සහ නුනාවුට් ය.

චිලී

20380 දරන නීතිය යටතේ සත්ව හිංසනයට සම්බන්ධ වූවන් සඳහා දඩ, මාසික දඩ මුදල් ඇතුළුව සම්බාධක සහ දින 541 සිට අවුරුදු 3 දක්වා වූ සිර දඬුවම් නියම කරයි. තවද පාසල් අධ්‍යාපනය තුළින් සත්ව රැකවරණය ප්‍රවර්ධනය කරන අතර සතුන් සමග අත්හදා බැලීම් වලට අදාල ප්‍රතිපත්ති නිර්වචනය කිරීමට ජෛව විද්‍යාත්මක කමිටුවක් ද පිහිටුවා ඇත.

සත්ව හිංසනය 
ස්පාඤ්ඤයේ සංස්කෘතික උරුමයක් වන ගවපොර සටනක්. මෙය කොළොම්බියාවේ බොහෝ සංවිධාන විසින් විවේචනය කරනු ලැබුවත් රට තුළ නීත්‍යානුකූලව පවතී.

කොලොම්බියාව

කොලොම්බියාවේ සත්ව හිංසනයට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග ඉතා අල්ප වන අතර ගොන්පොර සටන් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය යෝජනා කර ඇත. කුකුල් පොර සටන් වැනි අනෙකුත් හිංසාකාරී ක්‍රියාවන් සඳහා ද එකම නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි.

කොස්තා රිකා

සත්ව හිංසනය 
කෘතිම ත්‍රිමාණ මුද්‍රිත හොටක් සහිත ටවුකන් ග්‍රේසියා පක්ෂියා. තරුණ පිරිසකගේ පහරකින් මෙම පක්ෂියාට ස්වාභාවික හොටෙන් අඩක් අහිමි විය.

සත්ව හිංසාව වඩාත් හොඳින් අර්ථ දැක්වීම හා සත්ව හිංසකයින්ට දැඩි දඩුවම් ලබාදීම සඳහා නව පනතක් කොස්ටාරිකාවේ ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කර ඇත. අශ්ව පෙළපාලි, රෝඩියෝ හා ටිකෝ විලාසිතාවේ ගොන්පොර සටන් වැනි සාම්ප්‍රදායික යැයි සැලකෙන අවස්ථා පනතේ සඳහන් කර නොමැති අතර එය සම්මත වීමට එරෙහි යෝජනා ද ඇත. Toucan Grecia නම් පක්ෂියාගේ හොටෙන් අඩක් අහිමි වී ඇති බව අනාවරණය වන තෙක් මෙම පනත ව්‍යවස්ථාදායකයේ සම්මත වී නොතිබුණි. තුවාල වූ Toucan ගේ ප්‍රවෘත්ති හා රූප නිසා මෙම පක්ෂියාට ත්‍රිමාණ හොටක් නිර්මාණය වූ අතර සත්ව හිංසාව පිළිබඳව වූ පනත සම්මත කර ගැනීම සඳහා අගනුවර පෙළපාලි සංවිධානය විය.

මෙක්සිකෝව

මෙක්සිකෝවේ වර්තමාන ප්‍රතිපත්තිය සිවිල් නීතියට අනුකූලව සතුන්ට සිදුවන භෞතික හානිය හෙළා දකින අතර එය හිරිහැරයට ලක් වූ සත්වයාගේ අයිතිකරුට සිදුවූ දේපළ හානියක්‌ ලෙස සලකනු ලබයි.

අපරාධ නීතිය යටතේ දී මෙම තත්වය වෙනස් වේ. 2012 වර්ෂයේ දෙසැම්බරයේ දී ෆෙඩරල් දිස්ත්‍රික් ව්‍යවස්ථාදායක සභාව විසින් මෙක්සිකෝ සිටි දණ්ඩනීති සංග්‍රහය ප්‍රතිසංස්කරණය කළ අතර එයට අනුව සතුන් පළිබෝධකයන් හෝ වසංගත තත්වයක් ලෙස නොසලකන තාක් සතුන් අපයෝජනය හා සතුන්ට හිංසා කිරීම සාපරාධී අපරාධ ලෙස දක්වා ඇත. අත්හැර දමන ලද සතුන් වසංගත තත්වයක් ලෙස නොසැලකේ. ෆෙඩරල් දිස්ත්‍රික් නිල ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයක් මගින් 2013 ජනවාරි 31 වන දින ප්‍රතිසංස්කරණයක් බලාත්මක කරන ලදී. එයට අනුව සතෙකුට පැහැදිලිවම තුවාල සිදු කරන පුද්ගලයෙකුට මාස 6 සිට අවුරුදු 2 දක්වා වූ සිර දඬුවමක් හා අවම වැටුපකට දින 50 සිට 100 දක්වා දඩයක් නියම කරන අතර එම තුවාල වලින් සත්වයාගේ ජීවිතයට හානියක් වුවහොත් එම දඬුවම තවත් අඩකින් වැඩි කෙරේ. පුද්ගලයෙකු සිතාමතාම සත්වයකු මැරුවහොත් වසර 2 සිට 4 දක්වා වූ සිර දඬුවමක් හා අවම වැටුපකට දින දෙසීයේ සිට 400 දක්වා වූ දඩයක් දක්වා දඬුවම ඉහළ යයි.

මෙම නීතිය රටේ සෙසු ප්‍රාන්ත 31 පුරාවටම ව්‍යාප්ත කිරීමට සැරසේ. ඊට අමතරව “අනවශ්‍ය දුක් වේදනා” තහනම් කිරීම මත පදනම්ව වැඩවලදි ෆෙඩරල් දිස්ත්‍රික් සත්ව ආරක්ෂණ නීතිය පුළුල් පරාසයක පවතී. ඒ හා සමාන නීති මේ වන විට බොහෝ ප්‍රාන්තවල පවතී.

එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ සත්ව රැකවරණය හා කොන්දේසි සම්බන්ධ මූලික ෆෙඩරල් නීතිය වන්නේ 1970, 1976, 1985, 1990, 2002 හා 2007 දී සංශෝධිත 1966 සත්ත්ව සුබසාධක පනතයි. සතුන් යොදා ගන්නා පර්යේෂණ, ප්‍රදර්ශන, සතුන් ප්‍රවාහනය හා සතුන් අලෙවිකරුවන් සතුන්ට සැලකීම යනාදී නියාමනය කිරීමට ඇති එකම ෆෙඩරල් නීතිය එයයි. සත්ව විශේෂ රැකවරණය හා සත්ව භාවිතය සඳහා වෙනත් නීති ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ ඇතුළත් විය හැකි නමුත් ඒවා සත්ව සුබසාධක පනත (Animal Welfare Act) අවම වශයෙන් පිළිගත හැකි ප්‍රමිතීන් ලෙස හැඳින්වේ.

මෙම සත්ව සුබසාධක පනත සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානය මගින් විවේචනයට ලක් වී ඇති අතර ඒ කුරුල්ලන්, මීයන්, පර්යේෂණ සඳහා යොදා ගන්නා මී වර්ග, ආහාර හා තන්තු සඳහා ඇතිකරන සතුන් ආදිය එම පනතට ඇතුළත් නොවන බැවිනි.

සත්ව නීති ආරක්ෂණ අරමුදල (The Animal Legal Defense Fund) මගින් සෑම ප්‍රදේශයකම සත්ව ආරක්ෂණ නීති ශ්‍රේණිගත කිරිමේ වාර්ෂික වාර්තාවක් පළ කරනු ලබයි. ඒ එම නීතීන් හි ශක්තිමත් බව හා සාපේක්ෂ විස්තීරණතාවය මත ය. 2013 වර්ෂයේ වාර්තාවේදී හොඳම සත්ව හිංසන විරෝධී නීති ඇති ප්‍රාන්ත පහ වූයේ ඉලනෝයි, මේන්, මිචිගන්, ඔරිගන් සහ කැලිෆෝනියා ය. කෙන්ටකි, අයෝවා, දකුණු ඩැකෝටා, නිව් මෙක්සිකෝව සහ වයොමිං යන ප්‍රාන්ත දුර්වලම සත්ව හිංසන නීති ඇති ප්‍රාන්ත පහ වෙයි.

මැසචුසෙට්ස් හා නිව්යෝර්ක් හී සත්ව හිංසනය තහනම් කරන ප්‍රතිපත්ති බලාත්මක කිරීම සඳහා මානුෂීය සංගම් වල නියෝජිතයින් විශේෂ නිලධාරීන් ලෙස පත් කළ හැකිය.

2004දී ෆ්ලොරීඩා හි නීති සම්පාදකයෙක් “ගවයින්ට හිංසා කිරීම” තහනම් කිරීමක් යෝජනා කළේය: “පුහුණුවීම්, විනෝදාස්වාදය හෝ ක්‍රීඩාව සඳහා හිතාමතාම වැට්ටවීම, ගවයාගේ කඹයේ කැපීම, ඇදගෙන යාම, සංචාරය කිරීම හෝ වෙනත් ආකාරයකින් ගවයාගේ සමබරතාවය නැති කිරීම හා වලිගය ස්පර්ශ කිරීම පළමු පන්තියේ වැරදි ක්‍රියාවක් වේ.” මෙම යෝජනාව නීතියක් බවට පත් නොවීය.

එක්සත් ජනපදයේ කන් කැපීම, වලිගයට තට්ටු කිරීම, රෝඩියෝ ක්‍රීඩා හා වෙනත් ක්‍රියා නීතියානුකූල වන අතර සමහර විට අනුමත කරනු ලැබේ. හිංසන සදහා වන දඬුවම් අවම කරගැනීමට එය ලුහුබැඳීය යුතුය. වර්තමානයේ දී ප්‍රාන්ත 50 න් 46 ක් ම සත්ත්ව හිංසනයට එරෙහිව යම් ආකාරයක දඩුවම් නියම කර ඇත. කෙසේ වෙතත් බොහෝ අධිකරණ වල සත්ව හිංසනය වැරදි ක්‍රියාවක් ලෙස අර්ථ දක්වනු ලබයි. මෑතකදී සිදුවූ කැලිෆෝනියාහි නඩුවකදී සත්ව හිංසනය සම්බන්ධව න්‍යායාත්මකව වසර 25 ක සිරදඬුවමක් ලබාදිය හැකි බව ප්‍රකාශ විය.

2003දී කැලිෆෝනියාවේ බටහිර හොලිවුඩ් හී ගෘහස්ථ බළලුන්ගේ නිය ගැලවීම තහනම් කරන ආඥා පනතක් සම්මත කරන ලදී. 2007 දී වර්ජිනියාවේ නොර්ෆොක් හිදී මෙම නීතිය සම්මත කරනු ලැබුවේ වෛද්‍ය හේතු මත පමණක් මෙම ක්‍රියා පටිපාටියට ඉඩ ලබා දෙමිනි.

සත්ව හිංසාව අසභ්‍ය යැයි නිරූපනය කරන වීඩියෝ පටිගත කිරීම, විකිණීම සහ ප්‍රවාහනය 2010 සම්මත කළ සත්ව හිංසන විරෝධී පණතේ පළමු සංශෝධනය උල්ලංඝනය කිරීමක් බව 2013 අප්‍රේල් මාසයේදී ටෙක්සාස් ෆෙඩරල් අධිකරණ විනිසුරු සිම් ලේකරූල් කියා සිටියේය. විනිසුරු ලේක් සඳහන් කළේ අසභ්‍ය පරීක්ෂණ සඳහා පැහැදිලිවම ලිංගික නිරූපණයක් අවශ්‍ය වන අතර එය අපරාධකාරී වීඩියෝවල නොමැති බවයි. එක්සත් ජනපදයේ වී. ස්ටීවන්ස් විසින් ඉදිරිපත් කරන ලද පූර්වාදර්ශය ද මෙයයි. මීට අමතරව සත්ව හිංසාව පිළිබඳ වීඩියෝ සන්තකයේ තබා ගැනීමද ව්‍යවස්ථා විරෝධී ය.

රාජ්‍ය සුභසාධන නීති

මානුෂීය ගොවිතැනට සහය දැක්වීම සඳහා ප්‍රාන්ත කිහිපයක් නීති පනවා හෝ සලකා බලා ඇත.

  • ගර්භණී ඌරන් කූඩවල සිර කිරීම තහනම් කිරීම සඳහා ෆ්ලොරිඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 2002 නොවැම්බර් 5 වන දින ෆ්ලොරිඩා ඡන්දදායකයින් 10 වන සංශෝධනය 55% ක ප්‍රතිශතයකින් සම්මත කරන ලදී.
  • 2004 ජනවාරි 14 වන දින AB-732 පනත කැලිෆෝනියාවේ එක්රැස්වූ කෘෂිකර්ම කමිටුවේදී ව්‍යර්ථ විය. මෙම පනත් කෙටුම්පත මගින් කිරිගවයින් ඇතුළු සියලුම ගවයින් මස් පිණිස ඇතිකරනු ලබන ඉතා කුඩා ඉඩක් ඇති කූඩු වල දැමීම තහනම් කිරීමට නියමිතව තිබුනි. 2007 මැයි 9 වන දින AB-594 පනත කැලිෆෝනියාවේ ප්‍රාන්ත සභාවෙන් ඉවත් කරන ලදි. මෙඩි-කැල් යටතේ දුම්කොළ නැවැත්වීමේ ආවරණය පිළිබඳව පනතේ ඇතැම් භාෂා කොටස් ඇතුළත් කිරීමෙන් ප්‍රයෝගකාරීව මෙය කෘෂිකර්ම කටයුතු කමිටුව තුළ ව්‍යර්ථ කරන ලදි. AB-594,යෝජනාව 2ට බෙහෙවින් සමාන විය.
  • 2006 නොවැම්බර් 7 වන දින ඇරිසෝනා ඡන්දදායකයින් 62% සහය ඇතිව 204 වන යෝජනාව සම්මත කළහ. මෙම පියවර මගින් වසු පැටවුන් කූඩවල රඳවා තබා ගැනීම සහ ගර්භණී සතුන් කූඩුවල රඳවා තබා ගැනීම වළක්වනු ලැබේ.
  • 2007 ජුනි 28 වන දින ඔරිගන් ආණ්ඩුකාර ටෙඩ් කුලොන්ගොස්කි ගර්භණී ඌරන් කූඩුවල රඳවා තබා ගැනීම තහනම් කිරීමේ නීතියක් පැනවීය. (SB 694, 74th Leg. Assembly, Regular Session).
  • ගොවීන් විසින් ගර්භණී සතුන් භාවිතය තහනම් කිරීම සඳහා 2008 ජනවාරි මාසයේදී සම්මත වූ නෙබ්‍රස්කා ප්‍රාන්ත සෙනෙට් පනත් කෙටුම්පත වන LB 1148 පනත දින 5 ක් ඇතුළත ඉල්ලා අස්කර ගන්නා ලදී.
  • 2008 මැයි 14 වන දින කොලරාඩෝ ආණ්ඩුකාර බිල් රිටර් විසින් මෙලෙස මස් පිණිස ගර්භනී සතුන් සහ අනෙකුත් සතුන් කූඩු කිරීම නීතියෙන් තහනම් කරන SB 201 පනතට අත්සන් තැබීය.

වෙනිසියුලාව

සත්ව රැකවරණය සහ හිමිකාරිත්වය පිළිබඳ වගකීම් සහ සම්බාධක නිර්වචනය කරමින් වෙනිසියුලාව 2010 දී “ගෘහස්ථ සත්ත්වයින් නිදහස් කිරීම හා වහල්භාවයෙන් ආරක්ෂා කිරීම සඳහා නීතියක්” ප්‍රකාශයට පත් කළේය. එයට අනුව සත්ව හිංසාවන්ට දඩ නියම කරනු ලැබේ, නමුත් සිරගත වීමට හේතුවක් නොවේ. ආක්‍රමණශීලී හා භයානක යැයි කියනු ලබන සුනඛයන් සන්තකයේ තබා ගැනීම, බෝ කිරීම සහ ප්‍රජනනය කිරීම ද නීතියෙන් තහනම් කර ඇත. සුනඛයින්ගේ ආක්‍රමණශීලී බව තීරණය කරනු ලබන්නේ සුනඛ වර්ගය විසින්ම නොව හිමිකරු විසින් සුනඛයාට සලකන ආකාරයෙන් බව සුනඛ හිමිකරුවන් ප්‍රතිචාර දැක්වීය.

ආසියාව

චීනය

2016 වන විටදී සත්ව හිංසනය පිළිබඳ නීති චීනයේ පාලන තත්වය තුළ නොතිබුණි. සත්ව හිංසනය පිළිබඳ අධීක්ෂණය කරනු ලබන RSPCA වැනි රජයේ ආධාර ලබන පුණ්‍යායතන නොතිබුණි. නීතිය ක්‍රියාත්මක කිරීම හා සත්ව සුභසාධනය සදහා සියලුම ආකාරයේ සත්ව අපචාර වාර්තා කළ යුතුයි.

සත්ව හිංසනයට එරෙහිව එක්සත් නීතියක් නොමැති විට ලෝක සත්ව ආරක්ෂණය සළකන්නේ සතුන්ගේ සුභසාධනය ආරක්ෂා කරන සමහර නීති ඇතැම් සන්දර්භයන් තුළ, විශේෂයෙන් පර්යේෂණ හා සත්වෝද්‍යාන වල භාවිතා වන බවයි.

2009 සැප්තැම්බර් වලදී චීනයේ සතුන්ට හිතාමතා කරන හිංසන හා කුරිරුකම් විසදීම සදහා නීති කෙටුම්පත් කරන ලදි. මෙම පනත සම්මත වුවහොත්, එමගින් සුරතල් සතුන්, වහල්භාවයට පත්වන සතුන් හා විද්‍යාගාරවල පර්යේෂණවලට යොදාගන්නා සතුන්ට යම් ආරක්ෂාවක් සැළසෙන අතර ගොවිපළ සතුන් ඇතිදැඩි කිරීම, ප්‍රවාහනය කිරීම හා ඝාතනය කිරීම නියාමනය කරනු ඇත.

මේ වන විට මහජන චීන සමූහාණ්ඩුව බීජිං අගනුවර සුනඛයින් සළකමින් නීතිරීති වෙනස් කිරීමට කටයුතු කරමින් සිටියි. බීජිං නාගරික ජනතා සම්මේලනය (BMPC) යටතේ ඇති අභ්‍යන්තර හා අධිකරණ කමිටුවේ අධ්‍යක්ෂක වන ෂෙන් ගං මහතා, සුනඛයින් පිළිබඳ මහා නගර නියාමනයේ නව කෙටුම්පතට පළාත් පාලක ආයතනයේ සහය දක්වයි.මෙම නව නීතිය මගින් 1989 දී හදුන්වා දුන් සුනඛ හිමිකාරිත්වය පිළිබඳ වර්තමාන බීජිං මහා නියාමනය ප්‍රතිස්ථාපනය කිරීමට නියමිත ය. වර්තමාන රෙගුලාසි මගින් දැඩි ලෙස සුනඛ හිමිකාරිත්වය සීමා කිරීම සහ නගරය තුළ සුනඛයින් සංඛ්‍යාව පාලනය කිරීම සදහා සදහන් කරන ලද නව කෙටුම්පත මගින් ඒ වෙනුවට " දැඩි කළමනාකරණය සහා එම කළමනාකරණය සමග සීමාවන් ඒකාබද්ධ කිරීම" වෙත අවධානය යොමු කරයි.

හොංකොං

2010 වන විට හොංකොංවල සත්ව කුරිරුකමට එරෙහිව නීති ප්‍රතිස්ථාපනය කර ඇත්තේ සතුන්ට සැළකිය යුතු ආකාරය නියම කරන නීති භාවිතා කරමින් ධනාත්මක ප්‍රවේශයකිනි. හොංකොංහි සත්ව සුභසාධනය සදහා මූලික වශයෙන් රජයේ වගකිව යුතු දෙපාර්තමේන්තු වන්නේ කෘෂිකර්ම, ධීවර හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව වේ (AFCD).

AFCD මගින් පනවන ලද නීතිවලට පහත සදහන් දෑ ඇතුළත් වේ:

  • සත්ව හිංසන වැළැක්වීමේ ආඥාපනත (පොලීසිය විසින් බලාත්මක කරනු ලැබේ)
  • මහජන සෞඛ්‍ය (සතුන් හා පක්ෂීන් පිළිබඳ වූ) ආඥාපනත (පශු සම්පත් පාලකයන් හා සත්ව වෙළදුන් සදහා පනවා ඇති බලපත්‍ර සදහා වන රෙගුලාසි හා බලපත්‍ර ලාභී සත්ව වෙළදුන් සදහා ප්‍රමිති සංග්‍රහයන් ඇතුළුව)
  • සුනඛයින් හා බළලුන් පිළිබඳ ආඥාපනත
  • අයාලේ යන සුනඛයින් ගෙන ගොස් බලාකියාගැනීම සම්බන්ධ ආඥාපනත
  • ජලභීතිකාව සම්බන්ධ ආඥාපනත
  • වන සතුන් ආරක්ෂා කිරීමේ ආඥාපනත

මීට අමතරව ආහාර හා සනීපාරක්ෂක දෙපාර්තමේන්තුව (FEHD) පහත සදහන් දේ බලාත්මක කරයි:

  • මහජන සෞඛ්‍ය සහ නාගරික සේවා ආඥාපනත බලාත්මක කරයි. මෙහි ගව ඝාතකාගාර සහ අනෙකුත් මස් වෙළඳසැල් සදහා වන රෙගුලාසි ඇතුළත් වේ.
  • ආහාරයට ගනු ලබන සතුන්ගේ සුභසාධනය සදහා පිළිවෙත් සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරයි. (මෙහි ඔවුන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව විස්තර වේ.)
  • ඝාතකාගාරය වලදී පරිභෝජනයට ගනු ලබන සතුන්ගේ සුභසාධනය සදහා මෙහෙයුම් මාර්ගෝපදේශයන් ප්‍රකාශයට පත් කරයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පහත සඳහන් දේ කරයි:

  • පර්යේෂණාත්මක අරමුණු සදහා වන සතුන්ගේ සුභසාධනය සම්බන්දයෙන් වන ආඥාපනත බලාත්මක කරයි.
  • පර්යේෂණාත්මක අරමුණු සදහා වන සතුන් රැකබලා ගැනීම සහ භාවිතය සදහා පුහුණුවීමේ සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරයි.

2006 වන විට හොංකොංහි "සත්ව හිංසනය වැළැක්වීමේ ආඥාපනත" නමින් නීතියක් බලාත්මක වන අතර උපරිම වසර තුනක සිර දඩුවමක් හා HKD$200000 ක දඩ මුදලක් නියම කෙරේ.

ඉන්දියාව

1960 ස්ථාපනය කළ සත්ව හිංසන වැළැක්වීමේ පනත 1982 දී සංශෝධනය කරන ලදි. නව සංශෝධිත 2011 සත්ව සුභසාධක පනතට අනුව සතුන්ට හිංසා කිරීම වරදක් වන අතර එය ඉන්දීය රුපියල් දස දහසකට නොඅඩු දඩයක් සමග දඩුවම් ලැබිය හැකි වරදකි. එම දඩුවමට අමතරව ඉන්දීය රුපියල් විසිපන්දහසක් දක්වා හෝ වසර දෙකක සිර දඩුවමක් දක්වා දඩුවම් ලැබිය හැක. දෙවන හෝ තවත් වතාවක් සිදු වූ වරදකදී ඉන්දීය රුපියල් ලක්ෂයක් දක්වා විය හැකි,ඉන්දීය රුපියල් පනස්දහසට නොඅඩු දඩයක් ද වසර 3ක් දක්වා දීර්ඝ කළ හැකි වසරකට නොඅඩු සිර දඩුවමක් ද නියම කළ හැකියි. මෙම සංශෝධනය දැනට ඉන්දීය රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටියි. වර්තමානයේ දී, 1962 පනත ක්‍රියාත්මක වේ. 1962 පනත යටතේ උපරිම දඩය ඩොලරයට අඩු රු. 150 කි.ප්‍රාදේශීය SPCA, PFA, සහ Fosterdopt වැනි බොහෝ සංවිධාන පොලීසියට සත්ව හිංසන නඩු වාර්තා කිරීමට හා වැරදිකරු නීතිය හමුවට පැමිණවීමට, සාමාන්‍ය ජනතාවට සහයෝගය දෙමින් ක්‍රියාකාරීව සම්බන්ධ වේ.

ජපානය

ජපානයේ, 1973 සුභසාධන හා කළමනාකරණ පනත (1992 දී හා 2005 දී සංශෝධනය කරන ලද) මගින් නියම කර ඇත්තේ කිසිදු පුද්ගලයෙකු නිශ්චිත හේතුවක් නොමැතිව සතුන් ඝාතනය කිරීම, සතුන්ට හිංසා කිරීම, විශේෂයෙන් ම සියලුම ක්ෂීරපායින්, පක්ෂීන්, කිසිවෙකු අයිතියේ සිටින උරගයින් ද , වහල්භාවයේ සිටින ගවයින්, අශ්වයින්, එළුවන්, බැටළුවන්, සුනඛයින්, බළලුන්, පරවියන්, හාවන්, කුකුළන් හා තාරාවන් ආදීන්ට හිංසා කිරීමෙන් වැළකිය යුතු බවයි.

  • නිසි හේතුවක් නොමැතිව සතුන් ඝාතනය කිරීම හෝ සතුන්ට හිංසා කිරීමේ වරදට, බරපතළ වැඩ සහිත වසරක සිර දඩුවමක් හෝ යෙන් මිලියනයක් දක්වා වූ දඩ මුදලක් නියම විය හැකියි.
  • නිසි හේතුවක් නොමැතිව, පෝෂණය කිරීම හෝ ජලය ලබාදීම නතර කිරීමෙන් සතුන් දුර්වල කිරීමේ වරදට, යෙන් පන්ලක්ෂයක් දක්වා දඩ මුදලක් නියම විය හැකියි.
  • සතුන් අතහැර දමා යෑමේ වරදට, යෙන් පන්ලක්ෂයක් දක්වා දඩ මුදලක් හිමිවිය හැකියි.

සුරතල් සතුන් අලෙවි කරන ස්ථානවල සහ වෙනත් ව්‍යාපාර විසින් හසුරුවන ලබන සතුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම සම්බන්දයෙන් වෙනම ජාතික හා ප්‍රාදේශීය ආඥාපනත් තිබේ.

සතුන් යොදාගෙන කරනු ලබන පර්යේෂණ නියාමනය කරනු ලබන්නේ 2006 දී සංශෝධනය කරන ලද සතුන් සම්බන්ධ මානුෂීය ප්‍රතිකාර හා කලමනාකරණ නීතියෙනි. මෙම නීතියට අනුව සතුන් භාවිතා කරන්නන් 3Rs හි දක්වා ඇති මූලධර්ම අනුගමනය කළ යුතු අතර අවම පීඩාවක් හා දුක් වේදනා ඇතිවන ලෙස මෙම කටයුතු සිදුකළ යුතුයි. නියාමනය, ජාතික මාර්ගෝපදේශ මත පදනම්ව ප්‍රාදේශීය මට්ටමින් පවතින මුත් ආයතන පිළිබඳව රජයේ පරීක්ෂණ හෝ වාර්තා කිරීම් නැත.

සවුදි අරාබිය

පශුවෛද්‍ය ලනා ඩුන් සහ සෞදි ජාතිකයින් කිහිප දෙනෙකුම වාර්තා කර ඇත්තේ සෞදි නීති පද්ධතිය තුළ මෙම පදය මනාව නිර්වචනය කර නොමැති බැවින් සතුන් හිංසාවලින් ආරක්ෂා කරගැනීමේ නීති නොමැති බවයි. විශේෂයෙන් සුරතල් සතුන් අලෙවි සැල් වල සහ නැගෙනහිර අප්‍රිකාව සමග විදේශීය සත්ව වෙළදාමේ කොන්දේසි අධීක්ෂණය කිරීමට පාලක මණ්ඩලයක් නොමැතිකම ඔවුන් පෙන්වා දෙයි.

දකුණු කොරියාව

දකුණු කොරියාවේ සත්ව සුභසාධක නීති, ජාත්‍යන්තර ප්‍රමිතීන් ට අනුව දුරවල ය.

තායිවානය

තායිවානයේ සත්ව ආරක්ෂක පනත 1998 දී සම්මත කරන ලද අතර සත්ව හිංසන සදහා NT$250000 දක්වා දඩ මුදලක් නියම කරන ලදි. සත්ව හිංසාව සදහා සාපරාධී දඩුවම් 2007 දී බලාත්මක කරන ලද අතර, එයට උපරිම වශයෙන් වසරක සිර දඩුවමක් ද අයත් වේ.

තායිලන්තය

තායිලන්තය සිය පළමු සත්ව සුභසාධක නීතිය 2014 දී හදුන්වා දෙන ලදි. සත්ව හිංසාව වැළැක්වීමේ සුභසාධන පනත B.E. 2557, 2014 දෙසැම්බර් 27 දින සිට ක්‍රියාත්මක වේ.

යුරෝපය

යුරෝපා සංගමය

යුරෝපා සංගම් කවුන්සිලයේ 1999/74 / EC නැමැති නියෝගය, යුරෝපීය සංගමය විසින්, අවම ප්‍රමිතීන් යටතේ බිත්තර දැමීමේ කිකිළියන් තබා ගැනීම තහනම් කිරීමට, සම්මත කරන ලද නියෝගයකි. 1999 දී සම්මත කරන ලද මෙම නියෝගය මගින්, වසර 13 කට පසුව 2012 ජනවාරි 1 දා යුරෝපීය සංගමයට අයත් රටවල සාම්ප්‍රදායික කුකුළු කූඩු තහනම් කරන ලදි.

බළලෙකුගේ නියපොතු ඉවත් කිරීමද, යුරෝපයේ බොහෝ ප්‍රදේශවල නීති විරෝධී ය.

ප්‍රංශය

ප්‍රංශයේ සතුන්ට හිංසා කිරීම වසර දෙකක සිර දඩුවමක් සහ මූල්‍යමය වශයෙන් (30.000 € ක) දඩයක් නියම වී දඩුවම් ලැබිය හැකි වරදකි.

ජර්මනිය

ජර්මනියේ සතුන් මැරීම හෝ සතුන්ට සැළකිය යුතු වේදනාවක් (දිගු හෝ නැවත නැවත) ඇති කිරීම වසර තුනක් දක්වා සිර දඩුවමක් හෝ දඩ මුදලක් මගින් දඩුවම් ලැබිය හැකි වරදකි.සත්වයා විදේශීය සම්භවයක් ඇති අයෙක් නම්, එම ක්‍රියාව සාපරාධී හානියක් ලෙසට සලකා දඩුවම් නියම විය හැකියි.

ඉතාලිය

ඉතාලියේ නීතියට අනුව සතුන්ට එරෙහි කුරිරු ක්‍රියාවන්ට අවම වශයෙන් මාස තුනක සිට උපරිම අවුරුදු තුනක් දක්වා සිර දඩුවමක් සහ අවම වශයෙන් යුරෝ තුන්දහසක සිට උපරිම යුරෝ එක්ලක්ෂ හැටදහසක් දක්වා දඩයක් නියම කළ හැකියි.

අයර්ලන්තය

2013 සත්ව සෞඛ්‍ය හා සුභසාධන පනත 2014 දී බලාත්මක වූ අතර එම පනත සත්ත්ව ආරක්ෂාව වැඩි දියුණු කරන ලදී. මෙහිදී උපරිම දඩුවම වශයෙන් ඩොලර් දෙලක්ෂ පනස්දහසක් සහ වසර 5 ක් දක්වා සිර දඩුවමක් නියෝග කරනු ලබයි. අවස්ථා කිහිපයකදී වසර 3 ක් දක්වා දඩුවම් නියම කිරීම් සිදු කර ඇත.

පෘතුගාලය

2014 ඔක්තෝබර් 1 වන දින සිට පෘතුගාලයේ සතුන්ට එරෙහි හිංසනය අපරාධයක් ලෙස සළකන ලදී. අගෝස්තු 29 වන දා ඩයිරියෝ ඩා රිපබ්ලිකාවේ ප්‍රකාශයට පත් කරන ලද නීති සම්පාදනයට අනුව සතුන්ට හිරිහැර කිරීම සාපරාධී වන අතර,“සාධාරණ හේතුවක් නොමැතිව වේදනාව, දුක් වේදනා හෝ වෙනත් සත්ව හිංසනයකට දායක වන අය” වසරක් දක්වා සිර දඩුවමට යටත් විය යුතු බව පෙන්නුම් කරයි.එවැනි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස “සත්වයාගේ මරණය”, “වැදගත් ඉන්ද්‍රියයක් හෝ සාමාජිකයෙකු අහිමි වීම” හෝ "එම සත්වයාගේ ස්වාභාවික චලනයට හා ඊට අදාළ බරපතල හා ස්ථිර හානිය" සිදුවුවහොත්, වගකිවයුත්තන්ට අවුරුදු දෙකක සිර දඩුවම් නියම වේ.

සුරතල් සතුන් සම්බන්ධයෙන් ගත් කල, නව නීතිය මඟින් “ගබඩා කිරීම, අධීක්ෂණය කිරීම හෝ සුරතල් සතුන් නැරඹීම සඳහා යුතුකමක් ඇති ඕනෑම අයෙකු ඒවා අතහැර දැමීමත් එමගින් ඔවුන්ගේ ආහාර හා රැකවරණය සැපයීම අනතුරේ හෙළීම” මාස හයක සිර දඩුවමක් ලැබීමට හේතු වේ.

ස්වීඩනය

ස්වීඩනයේ සතුන්ට හිංසා කිරීම මූල්‍යමය දඩුවමක් සමග වසර 2 ක් දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක් වේ. සතුන්ව අයිති කර ගැනීමේ අයිතිය, අයිතිකරුට අහිමි වන අතර අයිති වී සිටි සතුන් අයිතිකරුගෙන් ඉවත් කරනු ලැබේ.

ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්ත සත්ව ආරක්ෂණ නීතිය දැනට ලෝකයේ වාර්තා වූ දැඩිම සත්ව ආරක්ෂණ නීති ක්‍රියාමාර්ගයක් වන අතර හාවන්ගේ කූඩුවල ප්‍රමාණය සහ සුනඛයින්ට ලබා දිය යුතු ව්‍යායාම ප්‍රමාණය ඇතුළු සතුන්ට සැලකීම පුළුල් ලෙස නියාමනය කිරීමත් පිළිබදව ද මෙහිදී සලකා බලා ඇත.

සූරිච් කැන්ටන් හි සත්ව නීතීඥයෙකු වන ඇන්ටොයින් ගොට්ෂෙල්, සත්ව හිංසාව පිළිබඳ නඩු වලදී සතුන්, ඔවුන්ගේ අවශ්‍යතා හා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට කැන්ටන් රජය විසින් සේවයේ යොදවා ඇත.

තුර්කිය

තුර්කියේ සත්ව ආරක්ෂණ නීති අංක 5199 යටතේ, සතුන්ට හිංසා කිරීම වැරදි ක්‍රියාවක් ලෙස සලකනු ලබන අතර දඩයකින් පමණක් දඩුවම සීමා වේ. සිර දඩුවමක් හෝ කෙනෙකුගේ අපරාධ වාර්තාවේ කළු සලකුණක් ඇතිවීමට තරම් එය‌ බරපතල තොවේ. තුර්කියේ සත්ව අයිතිවාසිකම් සම්මේලනය වන හේටාප් විශ්වාස කරන්නේ සත්ව හිංසනයන්ට ප්‍රමාණවත් තරම් දඩුවමක් වර්තමාන නීතියේ නොමැති බවයි.

එක්සත් රාජධානිය

එක්සත් රාජධානියේ, සතුන්ට හිංසා කිරීම සාපරාධී වරදක් වන අතර, ඒ සඳහා මාස 6 ක් දක්වා සිරගත කළ හැකිය.

සතුන්ට හිංසා කිරීම වැළැක්වීම සඳහා රාජකීය සංගමය (ආර්.එස්.පී.සී.ඒ.) විසින් බලපෑම් කිරීමෙන් අනතුරුව 1911 අගෝස්තු 18 වන දින පාර්ලිමේන්තුව විසින් 1911 සතුන් ආරක්ෂා කිරීමේ පනත (ඇ .27) හඳුන්වා දෙන ලදී. උපරිම දඩුවම වූයේ මාස 6 ක "අධික වැඩ සහිත" සිර දඩුවමක් සමග පවුම් 25 ක දඩයකි.

1839 මෙට්‍රොපොලිටන් පොලිස් පනතෙන්, ලන්ඩනයේ “සිංහයන්, වලසුන්, බැජර්, කුකුළන්, සුනඛයින් හෝ වෙනත් සතුන් සමඟ පොර ඇල්ලීම හෝ කුපිත කිරීම” තහනම් කරන ලද අතර, මාසයක් දක්වා අධික වැඩ සහිත සිර දඩුවමක්, හෝ පවුම් පහක් දක්වා සිර දඩුවම් නියම විය. සතුන් පදවාගෙන යා හැක්කේ කෙසේද, කවදාද, කොතැනද, වැගන් බස්සන්නේ කෙසේද යන්නට නීතියෙන් බොහෝ සීමාවන් එමගින් පනවා ඇත. උමතු සුනඛයින්ට නිදැල්ලේ දුවන්නට ඉඩ දීම අයිතිකරුවන්ට තහනම් කර ඇති අතර, ජලභීතිකාව ඇති හෝ එවැනි සුනඛයෙකු හපා කෑ බවට සැක කරන ඕනෑම සුනඛයෙකු විනාශ කිරීමට පොලිසියට අයිතිය ලබා දී ඇත. කරත්ත ඇඳීම සඳහා සුනඛයින් භාවිතා කිරීම එම නීතිය තුලින් ම තහනම් කර ඇත.

එතෙක්, සුනඛයින් කිරි, පාන්, මාළු, මස්, පළතුරු, එළවළු, සත්ව ආහාර ප්‍රවාහනය කිරීම සහ වෙනත් භාණ්ඩ විකිණීම සඳහා සහ කසළ එකතු කිරීම සඳහා යොදාගෙන තිබුණි. නයිජල් රොත්ෆෙල්ස් සඳහන් කරන පරිදි, ලන්ඩනයේ හෝ ඒ ආසන්නයේ සුනඛයින් යොදා කරත්ත අදින්නට ඇති තහනම නිසා අයිතිකරුවන්ගේ පවුල්වල ආදායමට සාපේක්ෂව දැරිය නොහැකි වියදම් ගෙවීමට සිදුවිය. එමනිසා බොහෝ සුනඛයන් ඔවුන්ගේ අයිතිකරුවන් විසින් මරා දමන ලදී. පසුකාලීනව කරත්ත සුනඛයින් වෙනුවට අත් කරත්ත සහිත පුද්ගලයින් ආදේශ කරන ලදී. ඒ වන විට සුනඛයන් 150,000 ක් පමණ මරා දමා හෝ අතහැර දමා ගොස් ඇත.

එරිකා ෆඩ්ජ්, හිල්ඩා කීන් ගේ පාඨයක් මෙසේ උපුටා දක්වයි:

"දහනව වන ශතවර්ෂයේ සත්ව සුභසාධන ව්‍යාපාරවල හදවත වන්නේ කුරිරුකම් දැකීමට නොහැකි වීමේ මධ්‍යම පාන්තික ආශාවයි."

- හිල්ඩා කීන්, සත්ව අයිතිවාසිකම්, 1998

1911 සත්ව ආරක්ෂණ පනත එතැන් සිට බොහෝ දුරට 2006 සත්ව සුභසාධන පනත විසින් අභිබවා ගොස් ඇති අතර, එය 1934 සත්ව ආරක්ෂණ පනත සහ 1960 සතුන් අතහැර දැමීමේ පනත ඇතුළු තවත් නීති 20 කට වැඩි ප්‍රමාණයක් අභිබවා ගොස් ඒකාබද්ධ කර ඇත. පනත මඟින් නව සුභසාධන වරද හඳුන්වා දෙන ලද අතර එයින් අදහස් කරන්නේ සත්ව හිමියන්ට රැකවරණය පිළිබඳ ධනාත්මක යුතුකමක් ඇති බවත්, ප්‍රමාණවත් පෝෂණය සහ පශු වෛද්‍ය සේවාව වැනි සතුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම නීති විරෝධී නොවන බවත් ය.

1971 සාපරාධී හානි පනත යටතේ ගෘහස්ථ සතුන් "හානියට හෝ විනාශයට" ලක්විය හැකි දේපළ ලෙස වර්ග කළ හැකිය. විත්තිකරු හැර වෙනත් කෙනෙකුට අයත් සතෙකුගේ තුවාල හෝ මරණයට සාපරාධී හානියක් පිළිබඳ චෝදනාවක්, චෝදනාවට සුදුසු විය හැකි අතර 2006 සත්ව සුභසාධන පනත යටතේ එවැන්නකට නඩු පැවරීම ද සුදුසු විය හැකිය.

ඕෂනියා කලාපය

ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශ සත්ව සුභසාධනය අරභයා නීති සම්පාදනය කොට ඇත.

සුභසාධන නීති, සතුන් ප්‍රමාණවත් සතුන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකරන බවට විවේචනය වී තිබේ. අපරාධ නඩු පැවරීමේ දී පොලීසිය සමස්ත අධිකරණ බලයක් පවත්වාගෙන යන අතර, බොහෝ ප්‍රාන්තවල RSPCA සහ අනෙකුත් සත්ව සුභසාධන පුණ්‍යායතනවල නිලධාරීන්ට සත්ව හිංසාව පිළිබඳව විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට බලය ඇත.

නවසීලන්තය

සත්ව සුභසාධන පනත 1999 සතුන් හිංසනයට ලක්වීමෙන් ආරක්ෂා කරයි.

යොමුව

Tags:

සත්ව හිංසනය අර්ථ දැක්වීම සහ දෘෂ්ටි කෝණයන්සත්ව හිංසනය ප්‍රභේදසත්ව හිංසනය විවිධ රටවලට අනුව නීතී රීතී සම්පාදනය වී ඇති ආකාරයසත්ව හිංසනය යොමුවසත්ව හිංසනය

🔥 Trending searches on Wiki සිංහල:

වනාන්තරඅභයගිරි දාගැබතෙරේසා මවුතුමිය2004 සුනාමියශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසංස්කෘතියමාතර දිස්ත්‍රික්කයවළි කුකුළාතෛපොංගල්සිංහල වර්ණ මාලාවතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකාවේ අපරාධජැක්සන් ඇන්තනීදරු නැලවිලි ගීපාලිත තෙවරප්පෙරුමපළමුවන පරාක්‍රමබාහු රජකළමනාකරණයසාදික්කාඔලිම්පික්ග්‍රාම නිලධාරීනිල් කටරොඩුශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිදෙමළ අක්ෂර මාලාවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසුනාමිකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථානිල් මානෙල්සයිකෝසියාවඡනසංඛ්‍යා වර්ධනයපොළොන්නරුව වටදාගෙයආවර්තිතා වගුවඩී.එස්. සේනානායකඌව පළාතඉබූලා වෛරස් රෝගයවැලිවිට සරණංකර හිමිසර්වෝදයජලභීතිකාවදෙවන රාජසිංහ රජස්තූපගෝලයබුද්ධාගමඅක්මාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවගෞතම බුදුන්ගේ ධාතූන්ශාරීරික ව්‍යායාමඋඩරට ගිවිසුමමහ පොළොවමඩොල් දූවඅනුරාධපුර ජේතවනාරාමයසාරිපුත්ත රහතන්වහන්සේමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයපරිගණක මෘදුකාංගනිල්ලක්ගම බෝධි ඝරයශ්‍රී ලංකාවේ රබර් වගාවසිංහල අකාරාදි අනුපිලිවෙලප්‍රථමක සංඛ්‍යාඑස් පහ (5S) ක්‍රමයදස මහා යෝධයෝඅලිගම්පහ පාසල් නාමාවලියසරත් ගුණපාලසිංහබාහු රජශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලබිලාවල් රාගයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමතාරකා විද්‍යාවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයහස්තරේඛා ශාස්ත්‍රයපරිගණකයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයතනි වචන (සිංහල භාෂාව)මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක🡆 More