දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශය

අනාදිමත් කාලයක පටන් මානව ජන සමාජය ආරම්භ වීම සමඟ ඇතිවුණු කෘෂිකර්මය වර්තමානය වන විට බොහෝ වෙනස්කම් වලට භාජනය වීමක් දක්නට ලැබේ .

                                                                                                          දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශය 

එදා ගංඟා නිම්න ශිෂ්ටාචාරයත් සමඟ බිහිවුණු කෘෂිකර්මය අද වන විට ප්‍රධාන ආකාර දෙකකට අර්ථකථනය කල හැකිය.


                                                                                                0.1වතු ආශ්‍රිතව සිදු කරන වැවිලි බෝග කෘෂිකර්මය.                                                                                                                                       0.2 දේශීය කෘෂිකර්මය වශයෙනි 
මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ආරම්භ වූ වතු වැවිලි කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් අපනයනයට දායක වන  තේ, පොල්, රබර් යන ප්‍රධාන අපනයන බෝග ද කුරුඳු, එනසල්, කරාබු නැටි, වැනි සුලු අපනයන බෝග ද වගා කෙරින. 

දීර්ඝ කාලීන ඉතිහාසයක් පවතින දේශීය කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීම පරමාර්ථයෙහි ලා බිහි විය. වී ගොවිතැන ප්‍රධාන කොට සෙසු අතුරු බෝග අන්තර්ගත වේ. රටකට අවශ්‍ය ආහාර එම රට විසින්ම නිපදවා ගන්නේ නම් ඕනෑම දුර්භික්ෂයකට හෝ ආපදාවකට මුහුණ දීමේ ශක්තිය එම රට සතුවෙයි. ඉතිහාසය සඳහන් කරන ආකාරය ට බැමිණිටියාසාය ඇතිවන විට මහා විහාරයේ පමණක් භික්ෂූන් වහන්සේලා 12,000 කට ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් ගබඩා කොට තිබූ බව කියැවේ. මේ ආකාරයට දේශීය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය කිරීම කෘෂිකර්මය ලෙස හැඳින්වේ. ලෝක කෘෂිකර්මාන්තය ආරම්භ වීම නිශ්චිත කල හැකි උවත් ලාංකේය කෘෂිකර්මයේ ආරම්භය පිලි බඳව නිශ්චිත කාල වකවානු නිර්ණය කල නොහැක . බොහෝවිට අප දන්නා පරිද්දෙන් ක්‍රි:පූ 6 වන සියවසේ විජයාවතරණය සමඟ සංක්‍රමණය වූ ඉන්දීය පිරිස් මෙම කාල වකවානුවෙන් පසු ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තය ලංකාවේ ව්‍යාප්ත කරවූ බව අදහස වේ. ක්‍රි:පූ 4000-4500 අතර කාල වකවානු වල දී චීනයේ හා ඉන්දියාවේ ආරම්භ වූ වී වගාව ලංකාවට ද ක්‍රමිකව ව්‍යාප්ත විය. මල්වතු ඔය, දැදුරු ඔය, කලා නිම්න ආශ්‍රිතව ද මහවැලි නිම්න ආශ්‍රිතව ද ජනාවාස ආරම්භ කල ඉන්දියානු ආර්යයන් වී වගාව ඇතුළු සෙසු වගාවන් ආරම්භ කරන ලදී. මේ ආකාරයට දීර්ඝ කාලීන ඉතිහාසයක් පවතින යැපුම් කෘෂිකර්මාන්තය ප්‍රධාන විකාශන අවදි 03 ක් ලෙස පහදා ගත හැක එනම් පූර්ව යටත් විජිත අවධිය, යටත් විජිත අවධිය, පශ්චාත් යටත් විජිත අවධිය වශයෙනි. පෙර යටත් විජිත සමය හෙවත් පූර්ව යටත් විජිත අවධියේ වූ අනුරාධපුර රාජධානියේ සිට සියලුම රාජධානි ගොඩනැගී ඇත්තේ පාරිසරික නීතිය මතය. සොබාදහමේ නියමයන්ට අනුව නිසි පරිදි කාරණාව වටහා ගත් ලක් වැසියා සියලු ම කර්මාන්ත හා ඉදිකිරීම් සඳහා පරිසර නීතිය පදනම් කොට ගෙන තබිණි. ඒ අනුව සෑම දෙයක් ම පරිසරයට බරක් හෝ ප්‍රතිවිරෝධයක් ඇති කළේ නැත. එම නිසා අතීතයේ ඇරඹුණු කෘෂිකර්මය බොහෝ විට සොබාදහමට අවනත විය.

අදින් වසර 8,000 කට පමණ පෙර යුගයේ ලංකාවේ පැරණි වාරි කර්මාන්තය හා ගොඩ බිමේ වගා කල බෝග වගා වන් බොහෝමයක් තබිණි. වැව් ආශ්‍රිතව ගොඩනැගී තිබූ වාරිමාර්ග පද්ධතිය හා එම ස්වයංපෝෂිත ආර්ථික රටාව අපේ කෘෂිකාර්මික ආර්ථිකයේ මුල්ගල ලෙස සලකනු ලබයි.

ගිනිගත්හේන අසල පිහිටි බෙලි ලෙන කෑගල්ල අසල පිහිටි අලු ලෙන රත්නපුර බටදොඹ ලෙන ආදී පුරාවිද්‍යාත්මක කැනීම් සිදුකරන ලද ස්ථාන වලින් ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ තොරතුරු රැසක් අනාවරණය වී ඇත. 1940 දී එන්.ඒ.නූන් සහ එච්.වී.වී.නූන් කල පර්යේෂණයේ දී බණ්ඩාරවෙල අසලින් සොයා ගන්නා ලද ශීලා යුගයට අයත් පාෂාණ මෙවලම්ද 1965 දී එස්.පී.එෆ්.සේනාරත්න මහතා විසින් පොම්පරිප්පු වලින් සොයා ගන්නා ලද මැටි බඳුන් වලින් ද ක්‍රි:පූ 1000 පමණ ජනයා ලක්දිව වාසය කලබවට සාක්ෂි ලැබී ඇත. මේ ආකාරයට ඉන්දියානු සංක්‍රමණිකයන් පැමිණීමට පෙර ද ලංකාවේ කෘෂිකර්මාන්තය තිබූ බවට ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වේ. ඒ අනුව ඔවුන් ගේ පැමිණීම සිදු වු පසු මෙරට කෘෂිකර්මය වර්ධනය වූ බව සාධාරණීකරණය කල හැක.

දිවයිනේ මුල්ම වගා ක්‍රමය ලෙස හේන් වගාව හේන් ගොවිතැන හැඳින්විය හැකිය. හේන් වගාවට දිගු ඉතිහාසයක් පවතී. එනම් මහාවංශය සඳහන් කරන ආකාරයට විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණෙන විට කපු හේන, කපුකටින යන්ත්‍ර, කුවේණීයගේ කපු කැටීමේ කථාව මඟින් මෙම තත්වය මනාව පිළිබිඹු වේ. ඊට අමතරව මෙරටට පැමිණි ඉන්දියානු ආර්යයන් ඔවුන්ගේ මුල් වාසස්ථාන මල්වතු ඔය ආශ්‍රිතවත් දකුණු පළාතේ වලවේ ගඟ, කිරිඳි ඔය,කුඹුක්කන් ඔය හා මැණික් ගඟ ආශ්‍රිතවත් සිදුකර ඇත. ඔවුන් ප්‍රධාන වශයෙන් වී ගොවිතැනට මුල්තැන දෙමින් පසුව කැලෑ එළි පෙහෙලි කොට ගිනිතබා ධාන්‍ය වගාව සිදු කොට ඇත. මේ අනුව හේන යන සංකල්පය ක්‍රි:පූ 6 වන සියවස දක්වා ම විහිදී ගොස් ඇත.

ගොවිතැන් කටයුතු සඳහා අහස් දිය ප්‍රමාණවත් නොවනු දැනගත් පැරැණ්නන් ගොවිතැනට අවශ්‍ය ජලය රැස්කර ගැනීමට “වාපි“ හෙවත් වැව යන සංකල්පය ක්‍රියාත්මක කරමින් වැව් නිර්මාණයට මුලපිරූහ. අතිපුරාණ යුගයේදී ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ විල්පත්තුවට යාබද මෝදරගම්ආරු අසල කුඩා ජලාශ දෙකක් වර්ෂාවෙන් ජලය පුරවාගෙන වී වගා කළ බවට පැහැදිලි සාක්ෂි සොයාගෙන ඇත. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගුරුගල්හින්න සහ කිරිමැටියාහින්න යන ස්ථාන වල කරන ලද කැනීම් වලින් කුඩාපරිමාන වාරි කර්මාන්ත සලකුණු සොයා ගෙන ඇත .

ශ්‍රි ලංකාවේ මෙගලිතික යුගයට අයත් මීටර 20 ක් පළල කිලෝමීටර 0.75 ක් දිග හෙක්ටයාර 20 ක් පමණ ජලය රැඳවිය හැකි ජලාශයක බැම්මක් බෙල්ලන්බැඳි පැලැස්සේ කළ පුරාවිද්‍යාත්මක කැනීම් වලින් සොයා ගෙන ඇත. මේ අනුව එදා ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික කටයුතු සිදුකල ඇති අයුරු දක්නට ලැබේ. බොහෝ අතීතයේදී ද වී වගාව කුඹුරු ආශ්‍රිතව සිදුකළ අතර වී හැරුණු විට කුරක්කන්, තණහාල්, මෙනේරි හා අමු යන ධාන්‍ය වර්ග හා එළවළු පලතුරු වර්ග වැනි දේවල් හේන ආශ්‍රිතව වගා කර ඇත. එකල සියලු කෘෂිකාර්මික කටයුතු පවුල් ශ්‍රමයෙන් හා සාමූහිකව සිදු කර ඇත. මෙහි දී විවිධ කෙම් ක්‍රම හා ආගමික ඇදහිලි අනුව සිය වගා කටයුතු සිදුකර ඇති අතර මොවුන් ආහාර හිඟයක් ඇතිවුවහොත් ලබාගැනීම සඳහා විවිධ ආහාර වර්ග සිය අටු කොටුවල පුරවා ගබඩා කොට තබා ගන්නා ලදී. මේ අනුව එකල ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත ආර්ථිකයක් විය. ක්‍රි:ව 1660 දී ලංකාවට පැමිණෙන රොබට් නොක්ස් වසර 20ක පමණ කාලයක් ලංකාවේ ජීවත් විය. ඔහු සිය අත්දැකීම් පාදක කර ගනිමින් “ එදා හෙළදිව“ ( Historical relation of Ceylon ) නමින් ලියන ලද ග්‍රන්ථයේ එකල ලක්දිව ජනතාවගේ ජීවන රටාව, සංස්කෘතිය, ඇදහිලි හා විශ්වාස ආදී නොයෙකුත් කරුණු සටහන් කර තිබේ. එහි දී.

“ මේ දිවයිනේ අල පලා පුෂ්ප විශේෂ විවිධ සමහරක් ආහාර පිණිස ද යළි තව සමහරක් ඖෂධ පිණිස ද ගනු ලබයි. කොස් මෙන් ම අල ද දිවයින් වාසීන්ගේ දිවි පෙවත සඳහා හුවමාරු කරනු ලබන අතිරේක ආහාර බව කිව යුතු ය. මේ අල අතරින් ඇතැම් ඒවා වැල් මෙන් රෝපණය වේ. කැලයේ ඉබේ වැවෙන අල වර්ග ද ගෙවතු වල වවන අල වර්ග ද වෙති . මෙරට වැසියන් සහල් අරපරිස්සම පිණිස අතිරේක ආහාරයක් වශයෙන් අල තම්බා බුදිති. ගොවීන්ට අල සුලබ බැවින් මිල දී ගත යුතු නොවේ. මිල දී ගන්නා අයට ද මේවා ලාභයට ගත හැකිය.“ යනු වෙනි. මේ කියමන අනුව පෙනී යනුයේ එදා ලංකාව සියලු කෘෂිකාර්මික අංශවලින් සමන්විත වූ දිවයිනක් ලෙසය. එනම් ඒ තුළ සෑම පුද්ගලයෙකුට ම අවශ්‍ය ඖෂධ වර්ග සහ අනෙකුත් සියලුම දේවල් දේශීය ව සපයා ගෙන ඇත.

එසේම ඔහු ලංකාවේ ගොවියාගේ ජල කළමනාකරණය පිළිබඳ ව ද අදහස් දක්වා ඇත. “ වී ගොවිතැනට ජලය අවශ්‍යමය එයින්ම ගොවියෝ තම තමන්ගේ කුඹුරුවලට ජලය ලබාගැනීම සඳහාත් විශේෂ පරිශ්‍රමයකින් ක්‍රියා කරති. ජලය රැස්කරගැනීම සඳහා වැව් බැඳීමෙන් ද රැස්කරගත් ජලය නිසි පරිදි පරිහරණය කිරීම සඳහා වාරිමාර්ග තැනීමෙන් ද ලංකාවේ ගොවියෝ ඉතා දක්ෂ බව පෙන්වති. නිම්න භූමි පන්දු පිට්ටනි මෙන් සමතලා කළ කල්හි එහි ජලය පිරේ. කඳුකර පිහිටි උස් බිම් වලට වුවද ජලාශ්‍රය ලැබෙන පරිදි බිම් සකස් කිරීමට ඔවුහු දක්ෂයෝ වෙති.“ යනුවෙනි.

ක්‍රි:ව 5 වැනි ශතවර්ෂයේ දී බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත “සමන්තපාසාදිකාවේ“ විශාල මෙන් ම කුඩා වැව් සහ පුද්ගලයන් සතු වැව් නඩත්තු කිරීම හා පාලනය කිරීම යන කාරණා පිළිබඳ නීතිරීති ගණනාවක් ම සඳහන් ය. එයට නිදසුනක් ලෙස කහඹිලියාව ශිලා ලිපියෙහි සඳහන් පුද්ගලයෙකු සතු ඇළ මාර්ගයක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. මුලින් ම අනුරාධපුර රාජධානියේ රජ කළ පණ්ඩුකාභය රජු ක්‍රි:පූ (377-307) කාල වකවානුවේ දී නගරවැසීන්ගේ ගොවිතැන් කටයුතු සිදු කිරීමට හා ජල අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට රාජධානිය තුල නගරයට ආසන්න ව වැව් ත්‍රිත්වයක් ඉදි කර ඇත. ඔහු ප්‍රථමයෙන් “අභය වැව“ හෙවත් අද බසවක්කුලම ලෙස හඳුන්වනු ලබන වැව ඉදි කර අනුරාධපුර යුගයේ ගොවි ශිෂ්ටාචාරයට නව පදනමක් සැපයීය. මීට අමතරව මොහු විසින් ජය වැව, ගැමුණු වැව යන වැව් ඉදි කරන ලදී. ක්‍රි:පූ (250-210) අනුරාධපුර රාජධානියේ රජකම් කල දෙවනපෑතිස් රජු ජය වැව විශාල කර අද පවතින තිසා වැව ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්වේ. ඔහු මීට අමතරව නුවර වැව ද ඔහුගේ සොහොයුරෙකු වූ මහානාඝ විසින් කරච්චි වැව ද කරවු බව මහා වංශයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ තරමක් විශාල වැව් තැනීම ආරම්භ වන්නේ ක්‍රි:පූ 67-111 අතර කාලයේදීය. ඒ වසභ රාජ්‍ය සමයේ දීය. වසභ රජු සැබවින්ම රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නිතර වෙහෙසී උරදුන් නායකයෙකි. ඔහු විසින් වසර 44 ක පාලන කාලය තුල වැව් 11 ක් හා ඇළ මාර්ග 12ක් කරවූ බව සඳහන් වේ. එමෙන්ම අඹන් ගඟ හරස් කොට ඉදි කරන ලද වේල්ලක් මගින් ශ්‍රි ලංකාවේ උතුරු ප්‍රදේශයට වාරි ජලය ගෙන යාම සඳහා ඇලහැර ඇළ හෙවත් යෝධ ඇළ ඉදි කරන ලද්දේ ද මොහුගේ අනුග්‍රහය යටතේදීය.

වංශකථා වල සඳහන් වන අන්දමට ක්‍රි:ව 274-301 කාල පරිච්ඡේදය තුල රජකම් කල මහසෙන් රජු වැව් 16 ක් හා එක් ඇල මාර්ගයක් ඉදි කර ඇත. ඔහු වසභ රාජ්‍ය සමය තුල ඉදි කරන ලද වැව් වල වපසරිය පුළුල් කරමින් අක්කර 4670 භූමියක් යට වී ඇති සැතපුම් 1 ¼ ක් දිග වැව් බැම්ම තනමින් මෙකල ඉදි කළ වැදගත්ම ජලාශය වන මින්නේරී වැව ඉදිකරන ලදී. එමෙන්ම කවුඩුළු වැව, හුරුළු වැව හා පබ්බතැන්න ඇළ මාර්ගයද මෙතුමාගේ රාජ්‍ය සමය තුල කරවු වැදගත් කෘෂිකාර්මික වාරි ව්‍යාපෘති ලෙස සැලකේ. එතුමා රටේ ඊසාන දිග ප්‍රදේශය සශ්‍රීක කිරීමට වෙහෙස වූ බව මෙයින් පිළිබිඹු වේ.

ඉන් පසු වාරි ශිෂ්ටාචාරයේ වැදගත් ම රජු වන්නේ ධාතුසේන රජතුමාය ක්‍රි:ව 455-473 කල වකවානු තුල මෙරට රජකම් කල මෙතුමා රටේ බටහිර ප්‍රදේශයේ වාරි තාක්ෂණය දියුණු කරමින් කෘෂිකාර්මික සංවර්ධනයට දායක වී ඇත. මෙතුමන් වැව් 18ක් කරවු අතර ඉන් වැදගත් ම වැව ලෙස සැලකෙන කලා වැව ඉදි කරමින් ද සැතපුම් 54 ක් දිග ඇළක් මඟින් කලා වැව හා තිසා වැව යා කරන ලදී . එමගින් සැතපුම් 180 ක භූමි ප්‍රදේශයක් පෝෂණය කර වූ බව සඳහන් වේ.

ක්‍රි:ව 531-551 දෙවන මොග්ගල්ලාන රජු පදවිය වැව නාච්ච දූව යන වැව් ද පළමු වන අග්බෝ රජු (571-604) විසින් කරවු මුලතිව් ප්‍රදේශයේ තැනවූ කුරුඳු වැව ද විශිෂ්ට සේවාවක් සිදු කරන මිණිපේ ඇළ ද තනවන ලදී. එමෙන්ම ක්‍රි : ව 604-614 රජ වූ දෙවන අග්බෝ රජු කන්තලේ ප්‍රදේශයේ පවතින කන්තලේ වැව තනවා එය පෝෂණය කිරීමට මින්නේරියේ සිට සැතපුම් 24 ක් දිග ඇළක් කරවා ඇත.

ඉන් පසු ලාංකේය කෘෂිකර්මයේ ස්වර්ණමය යුගය ලෙස පිළිගැනෙනුයේ පළමු වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයයි. ඒ ක්‍රි:ව 1153-1186 යන කාල පරිච්ඡේදයයි. මෙතුමා විසින් විශාල ප්‍රමාණයේ වැව් 16 ක් හා කුඩා ප්‍රමාණයේ වැව් 2376 ක් තැන වූ බව හා ප්‍රතිසංස්කරණය කල බව පොත් පත් වල සඳහන් වේ . මෙතුමා දැදුරුඔය හරහා ජලාශය 03ක් ඉදි කර ඇති අතර ඒවා කොට්ඨබද්ද, සූකරනිජ්ජ හා දොරදන්තික ලෙස හැඳින්වේ. කොට්ඨබද්ද ජලාශයෙන් ගලාගිය ඇළ වර්තමානයෙ සෙන්ගල්ල ඔය ලෙසත් සූකරනිජ්ජ ජලාශයෙන් මහාගල්ල වැවට ගලාගිය ඇළ වර්තමානයේ රිදී ඇළ ලෙසත් සි. ඩබ්ලිව්. නිකලස් මහතා විසින් හඳුනා ගෙන ඇත.

මෙරට කෘෂිකර්මය නගාසිටුවීමට වාරිමාර්ග වැව් අමුණු කරවූ රජවරුන් වැව් 35000ක් කරවා ඇති බවත් ඉන් 17000 පමණ හඳුනා ගෙන ඇති බවත් එයින් 12000 ක් පමණ කුඩා වැව් බවත් සඳහන් වේ.

මේ ආකාරයට පුරාණ රජ සමය ලංකාවේ වාරිමාර්ග පද්ධතිය දියුණු කර කෘෂිකාර්මික කටයුතු වලින් ස්වයංපෝෂිත බවට පත් කිරීමට උත්සාහ කර ඇත. බහුල ලෙස රජරට වාරි ශිෂ්ටාචාරයත් සමඟ රටේ නවමු සංස්කෘතික වෙනසක් ඇති කිරීමට ද ඉවහල් වී ඇත. ලංකාවේ වාරි සංස්කෘතිය හරහා වැව් ගම්මාන බිහි වීම ඒ තුලින් විශාල වෙනසක් සමාජය තුල ඇති කිරීම වැනි කාරණා මෙහි දී සිදු වී ඇත.

එදා ඈත අතීතයේ සිට දිගටම සිදු කරගෙන ආ “ දේශිය ගොවිතැන “ පළමු යුරෝපීය ආක්‍රමණිකයන් වන පෘතුගීසින් හා ලන්දේසීන් ගේ කාලයේ දී පවා දිගටම නොකැඩී පැවති බවට සාක්ෂි ඉතිහාසය සඳහන් කරයි. දේශිය ගොවිතැනට කණ කොකා හැඬීම ආරම්භ වන්නේ ක්‍රි:ව 1815දී ඉංග්‍රිසින් ලංකාව යටත් කර ගැනීමෙන් පසුවය. ඒ අනුව ඔවුන් මෙරට කෝපි, කුරුඳූ, සිංකෝනා, තේ, පොල් සහ රබර් යන වැවිලි බෝග හඳුන්වා දීමත් සමඟ මෙරට වැවිලි ආර්ථිකය සහ දේශීය කෘෂි ආර්ථීකය වශයෙන් දිත්ව ආර්ථික රටාවක් බිහිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය කෘෂිකර්මය කඩා වැටුණු අතර වැවිලි කෘෂිකර්මය දියුණු විය .

යටත් විජිත සමයේ දී දේශීය කෘෂිකර්මය බොහෝ සේ පිරිහීමකට බඳුන් වීමට කරුණු කිහිපයක් බලපා ඇත. ඒ 1833 දී කෝල්බෘෘක් , කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ ගම්සභා ක්‍රමය අහෝසි කිරීමයි. මෙමඟින් ගම්සභා මඟින් සිදුවුණු ඇළවේලි තැනීම හා ඒවා පිළිසකර කිරීමේ කටයුතු අවලංගු කෙරින ඒ හේතුවෙන් ඒවා අභාවයට යාම නිසා වියලි කලාපයේ ජනයා ක්‍රමයෙන් තෙත් කලාපයට සංක්‍රමණය විය. එමෙන් ම දෙවන කරුණ ලෙස රාජකාරි ක්‍රමය වෙනස් කිරීම සඳහන් කල හැකිය. තෙවැනි කාරණාව ලෙස 1840 අංක 12 දරණ මුඩුබිම් පණත මඟින් අයිතිය තහවුරු කිරීමට නොහැකි වුණු ඉඩම් නැතිනම් හේන් වගාව ආශ්‍රිත ඉඩම් රජයට පවරා ගැනීම සිදු විය. සිව්වැනි කරුණ ලෙස වැවිලි අංශයේ කම්කරුවන්ට හා නාගරික ජනතාවට අවශ්‍ය සහල් පිට රටින් ආනයනය කිරීම නිසා මෙරට සහල් නිෂ්පාදන අංශය අකාර්යක්ෂම විය. මීට අමතරව අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති අසාධාරණ බදු අයකරගැනීම. වාණිජ බෝග වලින් වැඩි ලාබ ඉපයීම වැනි කාරණා හේතුවෙන් ද දේශීය කෘෂිකර්මය පිරිහීමට හේතු විය.

මෙරට දේශීය කෘෂිකර්මය හෙවත් ආහාර නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් ද 19 වන සියවසේ අගභාගයේ දී ලෝකයේ ආහාර මිල ගනන් ඉහල යාම හේතුවෙන් ද එවක මෙරට පාලනය කල පාලකයන් රටේ කෘෂිකර්මය නගාසිටුවීම කෙරෙහි අවධානය යොමු කළහ. එහි දී 1850 දී වැව් ප්‍රතිසංස්කරණය කිරීමට රන් පවුම් 681,900 ක් වැය කර ඇත.

1872 දී ධාන්‍ය බද්ධ අහෝසි කරන ලදී. ඒත් සමඟ 20 වන සියවසේ මුල්භාගයේ දී නැවත ලංකාව තුල වී වගාව ව්‍යාප්ත වෙමින් තිබුණි. වර්ෂ 1900 වන විට වී වගාව අක්කර 700,000 ක් බව පොත පතෙහි සඳහන් වේ. මෙම කාල වකවානුව තුලම එනම් 1900 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. එනමුත් එහි සුගතිගාමී ප්‍රතිඵලයක් අත් නොවීය. ඒ හේතුවෙන් 1910 දී එවක පාලනය කල බ්‍රිතාන්‍ය පාලකයන් රජය සතු ඉඩම් විකිණීම වළක්වා බදු දීමේ ප්‍රතිපත්තිය අනුගමනය කලහ. 1929 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වාර්තාවන්ට අනුව වි ගොවිතැනට යෝග්‍ය ප්‍රදේශ හා ඉඩම් වැඩි වැඩියෙන් උපයෝගී කර ගැනීමට අවධානය යොමු විය. ඒ අනුව 1931 දී ලංකාවේ ගොවි ජන පද පිහිටුවීම ආරම්භ විය. එහි දී ඉඩම් අක්කර 50,000ක් ගොවීන් අතරේ බෙදා දෙන ලදී. 1935 දී ගොවි ජන පද ව්‍යාපාරය ආරම්භ කර න මෙරට ප්‍රථම කෘෂිකර්ම ඇමති වන ඩී. එස් .සේනානායක මහතා දේශිය කෘෂිකර්මය කෙරෙහි විශාල මෙහෙයක් ඉටු කිරීම නිසා ක්‍රමික ව කෘෂිකර්මය වර්ධනය වීමක් සිදු විය.

1948 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබන ශ්‍රී ලංකාව පශ්චාත් යටත් විජිත සමය තුල බලයට පත් විවිධ රජයන් මඟින් කෘෂිකර්මය සංවර්ධනයට විශාල කාර්යභාරයක් රැසක් ඉටු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් .සේනානායක මහතා 1935 සිට ම අදහස් දැරුවේ ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය නගා සිට වීමෙන් ග්‍රාමීය ආර්ථිකය දියුණු කල හැකි බවය. 1948 න් පසු එනම් 1948ත් 1956ත් කාල වකවානුව තුල එතුමාගේ සංකල්පයක් මත සය අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම මඟින් රජයේ ඉඩම් පවරා දීම වැඩි වශයෙන් සිදු කල අතර වගා කල හැකි ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම හා ඉඩම් හිඟයට විසඳුම් සෙවීම ආදිය සිදු කෙරින. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1956 පමණ වනවිට මහා ගොවිජනපද 33ක් ලංකාව පුරා ඇතිවිය. මීට අමතරව එතුමා විසින් 1948 දී වී සඳහා සහතික මිලක් නියම කරන ලදී . එමෙන්ම ගොවීන්ට රසායනික පොහොර හඳුන්වා දීම හා කෘෂි අංශය විකාශනයට අවශ්‍ය පරිසරය සකස් කරමින් 1958 දී කුඹුරු පනත , 1972 දී ඉඩම් ප්‍රතිසංස්කරණ හා වී අලවි මණ්ඩල පනත, ක්‍රියාත්මක කිරීම තුලින් කෘෂි අංශය නගා සිටවීමට ක්‍රියා කලේ ය. එසේ ම ලංකාවේ අදටත් ගොවීන් සමඟ කටයුතු කරන “ගොවිජන සේවා දෙපාර්තමේන්තුව“ ද මෙතුමාගේ පාලන කාලය තුල එනම් 1957 දී ආරම්භ විය.

මෙසේ ක්‍රමික ව විකාශනය වූ දේශීය කෘෂි අංශය වර්ෂ 1960 දී හරිත විප්ලවයත් සමඟ විශාල යුග පෙරළියකට භාජනය විය. එනමි එම වර්ෂයට කලින් කාල වකවානුව තුල කෘෂිකර්මය සඳහා භාවිතා කල උදැල්ල, දෑකැත්ත, දැත්ත, වියගහ , නගුල ආදී සරල උපකරණ හා මී ගවයන් යොදාගැනීම 1960 න් පසු ක්‍රමික ව අත්හැරීම සිදු විය. ඉන් පසු නවීන උපකරණ යොදා ගනිමින් බිම් සැකසීම, අස්වනු නෙළීම, කොළ මැඩීම, හා අස්වනු ප්‍රවාහනයට යන්ත්‍ර සූත්‍ර භාවිතය ආරම්භ විය. 1972 දී මෙරටට ප්‍රථමයෙන් රෝද දෙකේ ට්‍රැක්ටර් 4ක් පමණ ආනයනය කර ඇති අතර එය පසුව ක්‍රමික ව වැඩි වී ඇත. හරිත විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස 1960න් පසු දේශීය සහල් වර්ග වගා කිරීම අවම විය. ඒ සඳහා දීර්ඝ කාලයක් ගොවීන්ට බලා හිඳීමට සිදු වීම ඊට හේතුවයි. සුදු හීනටි, සුවදැල්, කළුදුරු, රත්හැල් යන දේශිය සහල් වර්ග වගා කොට අස්වනු නෙළීමට මාස 3-4ක් 6-7ක් ගත වේ. නමුත් වී ප්‍රභේද අභිජනනය ආරම්භ වීමත් සමඟ මාස 31/2 හා 4ක් වැනි කෙටි කාලයක දී වී අස්වනු නෙළීමට හැකි වී වර්ග නිපදවීම සිදු විය. එමගින් කෙටි කාලයක් තුල වැඩි ඵලදාවක් හා වියදම අඩු කර ගැනීම යන වාසි අත් විය.

බෝග වගාව වැඩි ඵලදායිතාවකින් සිදු කිරීමට රසායනික පොහොර භාවිතය, වල් නාශක , කෘමිනාශක, භාවිතය ආරම්භ වීම සමග නවීන කෘෂිකර්මය දේශීය කෘෂිකර්ම හා සම් මිශ්‍ර වී අස්වනු ප්‍රමාණය ඉහල යාම සිදු විය. 1960 දී මෙරට සහල් නිෂ්පාදනය 144%කින් වර්ධනය විය. 1977 ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට සම්ප්‍රදායි කව පැවති කෘෂිකර්මයට අදාළ බෝග ආනයනය හා අපනයනය කිරීම ආරම්භ විය.

දේශිය කෘෂිකර්මය ආශ්‍රිතව ඇතිවූ තවත් වැදගත් ලක්ෂණයක් වනු යේ 1978 දී ආරම්භ වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. මෙමගින් වාරි ඉඩම් 600,000ක් පමණ වගා කිරීම අපේක්ෂිත වූ අතර 1977-1996 ගොවි ජනපද 09ක් බිහි විය. මෙහි දී වී නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ අතර 1977 දී වී බුසල් මිලියන 80.4ක් වූ අතර 1978 වන විට.90.9ක්,1991 වන විට එය 114.4ක් ද දක්වා වර්ධනය විය. මේ ආකාරයට බලන විට කෘෂිකර්මය වර්ධනයට ගොවි ජනපද ව්‍යාපාර වල දායකත්වය ද බලපා තිබේ.

1990 දී ඉවත් කල පොහොර සහනාධාරය නැවත 1994 දී ලබා දුන් අතර එය පැවති රජයන් සහ පවතිනා රජයන් විවිධ අයුරින් සැපයීම ඉටු කරමින් සිටී. මීට අමතරව අද වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල දේශීය කෘෂිකර්මය හා සබැඳි තවත් ඒ ආශ්‍රිතව පවතින සත්ව ගොවිපළ, පාලිත තත්ව යටතේ බෝග වගාව, කිරි නිෂ්පාදනය ආදී විවිධ අංශයන් පුළුල් මාවතකට යොමු වී ඇත. නව ක්‍රම තුලින් අද වන විට ශ්‍රී ලංකාව ද විවිධ කෘෂිකාර්මික අංශ සඳහා විශේෂිත දියුණුවක් අත්පත් කර ගෙන තිබේ.

දේශිය කෘෂිකර්මයේ නව මානයන් සොයා යමින් අද වන විට අස්වැන්නේ ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව ආරක්ෂා කරමින් උසස් තත්වයෙන් යුතු ආහාර නිෂ්පාදනයට යොමු වීම හා ඒ සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහල බැවින් ලාංකේය ජන සමාජය ද දැන් දැන් පරිසර නීතිය හෙවත් නියතිවාදය ගරු කරමින් කෘෂිකර්මයේ නිරත වීම සතුටට කරුණකි. වසර දස දහසක පමණ පැරණි ඉතිහාසයක් පවතින අපේ කෘෂිකර්මය අද ක්‍රමික ව දියුණු වී ඇත. දියුණුව යනු ඕනෑම පවතින හා පවත් නා දෙයක් සම්ප්‍රදායට ගරු කරමින් එම සම්ප්‍රදාය ද ආරක්ෂා කරමින් නව තාක්ෂණය ද මුසු කර ගනිමින් අනාගතය සඳහා රැගෙන යාමයි. එහි දී කෘෂිකර්මය ගත් විට ද එම කාරණය රිසි පරිධි ගැළපෙනු ඇත.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසොලොස්මස්ථානප්ලේටෝවිජය රජස්වභාවික වෘක්‍ෂලතාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයගෝලීයකරණයනාලන්දා විද්‍යාලය, කොළඹඑනසාල්බර්ගර් ජනයාපණීභාරතශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවගේ කුරුල්ලාඅපද්‍රව්‍ය කළමනාකරණයචලිතය පිළිබඳ නිව්ටන් නියමමුගලන් රහතන්වහන්සේමානව පරිණාමයශ්‍රී ලංකාවසෞඛ්‍යයසමනල කන්දලිංගික ඉන්ද්‍රියන්එදිරිවීර සරච්චන්ද්‍රසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝසිංහල ක්‍රියා පදමරියානා අගාධයශ්‍රී ලංකාවේ නර්තනයන්අන්වීක්ෂයබුද්ධ චරිතයතැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාකොරෝනා වෛරසයනෙල්ලිපන්සිල්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයවාරණ රජ මහා විහාරයමාතලේ කැරැල්ලදානයලංකාවේ කැලෑ බළලුන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ප්‍රස්ථාව පිරුළුනන්දා මාලනීලෝකයේ රටවල්උණඒකාවේරියශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්බ්‍රහස්පති ග්‍රහයාලිංගික අප්‍රාණිකත්වයඩන්කන් වයිට්පොන්නම්බලම් රාමනාදන්නව යොවුන්වියක්‍රීඩාපැපොලසමනලයාකිරි වෙහෙර, කතරගමසිංහල අක්ෂර මාලාවබක් පසළොස්වක පෝයකෘෂිකර්මයඝනත්වයපාසල්දිවාලිශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයදකුණු ආසියාවමාර්ටින් වික‍්‍රමසිංහවිකිශාන්ති නිකේතන විද්‍යාපීඨයපරිගණකයඅහිකුණ්ඨකශ්‍රී ලංකාවේ ජාතික සංකේතසාගර පලන්සූරියහික්කඩුවේ සුමංගල තෙරණුවෝකොහොඹසතර අගතිඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්වැලිවිට සරණංකර හිමිබෙලිලෙනනායයෑම්කාබෝහයිඩ්‍රේට🡆 More